හදිසි නීතිය පැනවීම ගැන පැහැදිලි කිරීමක්

හදිසි නීතිය පැනවීම: ආරක්ෂක අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

by Staff Writer . 07-05-2022 | 10:51 PM

COLOMBO (News 1st) –හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඕනෑම ශ්‍රී ලාංකිකයකුට දිවයිනේ ඕනෑම ස්ථානයක සාමාකාමීව විරෝධතා දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට සියලු දෙනා ගරු කළ යුතු බව එහි සඳහන් ය. අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පසුගිය දින කිහිපය තුළ සාමකාමී අරගලයක් සාමකාමී ලෙස පවත්වාගෙන ගිය අරගලයෙහි මුහුණුවර වෙනස් කරමින් සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය අඩාල වන අයුරින් ප්‍රචණ්ඩකාරී ලෙස සිදුකරණ උද්ඝෝෂණ හා හර්තාල් හේතුවෙන් පොදු මහජනතාව මහත් දුෂ්කරතාවකට පත්වූ බවයි. විවිධ අවස්ථාවල ප්‍රකෝපකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් රටේ සාමාන්‍ය නීතිය පිළිබඳ කිසිදු තැකීමක් නොකර නීතිය හා සාමාය ආරක්ෂා කිරීමට කැපවෙන පොලිසියේ හා ආරක්ෂක අංශයන්හි නිලධාරීන්ගේ රාජකාරීන්ට බාධා වන අයුරින් ක්‍රියාකරන ආකාරය නිරීක්ෂණය වී ඇති බව ද නිවේදනයේ සඳහන් ය. මේ හේතුවෙන් නීතිගරුක බහුතර සාමාන්‍ය පුරවැසියන්ගේ දෛනික ජන ජීවිතය අඩාල වී ඇති බව නිවේදනයේ දැක්වේ. මෙම හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ බවත්, වගකිව යුතු පුරවැසියන් ලෙස රටේ සියලු දෙනා ඉතා බුද්ධිමත්ව හා ඉවසිලිමත්ව නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දෙයි.