ගාලු මුවදොර විරෝධතාවට අදාළ ඉල්ලීමට අධිකරණයේ තීරණය

ගාලු මුවදොර විරෝධතාව: පොලීසියේ ඉල්ලීම සලකා බැලීමෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කැකුණවෙල ඉවත් වෙයි

by Staff Writer . 06-05-2022 | 1:36 PM

 COLOMBO (News 1st) – ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කිරීමට ගිය ඉල්ලීමක් සලකා බැලීමෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද ඉවත් විය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශවේන්ද්‍ර වික්‍රම මහතා පැවසුවේ මෙම අරගලය සම්බන්ධයෙන් නඩු දෙකක් මේ වන විටත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පොලිසිය ඉදිරිපත් කර ඇති බවයි. මෙම ඉල්ලීම සලකා බැලීමට අධිකරණය සූදානම් නම් එම ඉල්ලිම තමා ඉදිරිපත් කරන බව රජයේ නීතිඥ ශවේන්ද්‍ර වික්‍රම මහතා අද දන්වා සිටියේ ය. අදාළ ඉල්ලීම කුමක් ද යන්න සම්බන්ධයෙන් විවෘත අධිකරණයේදී අනාවරණ නොකෙරිණ. අරගලකරුවන් වෙනුවෙන් නීතීඥ කණ්ඩායමක් සමග පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා රජයේ නීතීඥවරයා ඉදිරිපත් කළ එම කරුණු සම්බන්ධව විරෝධය පළ කළේ ය. දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල මහතා තමා මෙම ඉල්ලීම සලකා බැලීමෙන් ඉවත් වන බවත් එම ඉල්ලීම වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවට යොමුකරන බවත් විනිසුරුවරයා සඳහන් කර සිටියේ ය.