by Staff writer 04-05-2022 | 4:33 PM
COLOMBO (News 1st) - අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගමේ විරෝධතාකරුවන්ට බාධා වන අයුරින් කටයුතු කිරීමෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ නිලධාරීන් වළක්වන, නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ අරගල භූමිය අවහිර කරමින් පදිකයන්ට බාධා වන අයුරින් නවතා ඇති බස් රථ හා පොලිස් ට්‍රක් රථ ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා, කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය.
ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අනවශ්‍ය ශබ්ද නිකුත් කිරීම වළක්වන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ සාමකාමීව රැස්වීමට ඇති මූලික මිනිස් අයිතිය ආරක්ෂා කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මින් උල්ලංඝණය වන බවට ප්‍රකාශ කරන ලෙසය.
මින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවන බවට තීරණය කරන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් අය කර දෙන ලෙසත් පෙත්සම මගින් ඉල්ලා තිබේ.
පෙත්සම ගොනු කළේ, අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගල සඳහා සක්‍රීයව දායක වෙමින් සිටින නීතිඥවරියක වන ශානිකා සිල්වා හා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර විසිනි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපති ඩන්කන් ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.