චීනයෙන් යුවාන් මිලියන 300 ක ප්‍රදානයක්

ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගන්න චීනයෙන් යුවාන් මිලියන 300 ක ප්‍රදානයක්

by Staff writer 03-05-2022 | 10:37 PM

COLOMBO (News 1st) - ඖෂධ, ආහාර සහ ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා යුවාන් මිලියන 300 ක ප්‍රදානයක් මෙරටට ලබා දීමට චීන රජය තීරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර පසුගිය අප්‍රේල් 22 වැනිදා පැවති දුරකතන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස චීනය මෙම ප්‍රදානය ලබාදෙන බවයි. ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා සහ අභියෝග පිළිබඳව චීනයට අවබෝධයක් ඇති බව, මීට පෙර පැවති සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ. එහිදී චීන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා චීනය උපරිමයෙන් කටයුතු කරන බවයි. ඒ අනුව මෙම ප්‍රදානයත් සමගින් චීනය ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇති සමස්ත ආධාරවල වටිනාකම යුවාන් මිලියන 500 ක් පමණ වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ය.