බිට්කොයින් නීතිගත කළ ලොව දෙවන රට අප්‍රිකාවෙන්..

බිට්කොයින් නීතිගත කළ ලොව දෙවන රට බවට මධ්‍යම අප්‍රිකානු ජනරජය පත්වෙයි

by Chathurika Jayasundara 30-04-2022 | 12:18 PM

COLOMBO (News 1st) – ලොව වැඩිම වටිනාකමක් සහිත මුදල් ඒකකය වන බිට්කොයින්(Bitcoin) නීතිගත කළ ලොව දෙවන රට බවට සහ අප්‍රිකාවේ ප්‍රථම රට බවට මධ්‍යම අප්‍රිකානු ජනරජය පත්ව තිබේ.

ඒ, එරට නීති සම්පාදකයන් විසින් සකස් කරන්නට යෙදුණු බිට්කොයින් නීතිගත කිරීමේ පනත් කෙටුම්පත සඳහා එරට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවීමත් සමගයි. මේ පිළිබඳව අදහස් දක්වමින් එරට ජනාධිපති Faustin-Archange Touadera ගේ කාර්ය ණ්ඩල ප්‍රධානී Obed Namsio ප්‍රකාශ කර ඇත්තේ , Cryptocurrency භාවිතය පාලනය කරන පනතක් පසුගිය සතියේ පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත කරන ලද බවත් , එයට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බවත් ය. මේ සමග මධ්‍යම අප්‍රිකානු ජනරජයේ නිල මුදල් ඒකකය වන මධ්‍යම අප්‍රිකානු CFA Franc සමගින් එරට නිල ගනුදෙනු සඳහා භාවිතා කරනු ලබන මුදල් ඒකකයක් බවට බිට්කොයින් පත් වේ. රන් හා දියමන්ති සංචිතවලින් ඉතා පොහොසත් රටක් වුව ද මධ්‍යම අප්‍රිකානු ජනරජය ලොව දුප්පත්ම සහ අඩුම සංවර්ධිත රටවලින් එකක් වන අතර වසර ගණනාවක් කැරලිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වයට ග්‍රහණය වී ඇත.