අප්‍රේල් මාසයේ උද්ධමනය 29.8 % ක්

අප්‍රේල් මාසයේ උද්ධමනය 29.8 % ක් - ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

by Chathurika Jayasundara 30-04-2022 | 12:10 PM

COLOMBO (News 1st) –  විනිමය අර්බුදයයි, අස්ථාවර දේශපාලන පසුබිමත් එක්ක ලංකාවේ භාණ්ඩ මිල දෛනිකව පාහේ ඉහළ යනවා.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මෙම මාසයේ බඩු මිල වැඩි වීමේ වේගය හෙවත් උද්ධමනය 29.8 % ක්. මෙම ඉහළ උද්ධමනයට බලපා ඇත්තේ කිරිපිටි, සහල්, පාන්, පරිප්පු සීනි ඇතුළු අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය මිල මෙම මාසය තුළ සීඝ්‍ර ලෙස ඉහළ යාම ආහාර නොවන පෙට්‍රල් ඩීසල්, ගෑස්, මිල ගණන් ඉහළ යාම ද මෙම මාසයේ උද්ධමනය වැඩවීමට හේතු වී තියෙනවා. ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩවල මිල 60% සිට 140 % දක්වා ප්‍රමාණයකින් වැඩි වෙලා. ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරක මිල වැඩිවීම රුපියල් 161 ක්, එය 91 % ක වැඩි වී තිබෙනවා. ඩීසල් ලීටරක රුපියල් 168 ක් හෙවත් 139% කින් ඉහළ ගියා. 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයේ මිල වැඩිවීම 77 % ක්. ජනවාරි 01 වැනිදා වනවිට රුපියල් 147 ක් වූ සීනි කිලෝග්‍රෑම් එකක අද මිල රුපියල් 260 ඉක්මවා ගොසින්. එම කාලය තුළ පරිප්පු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 300 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. ජනවාරි සිට මේ දක්වා සාමාන්‍ය සම්බා සහල් කිලෝග්‍රෑම් එකක මිල වැඩිවීම රුපියල් 87 ක්. සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් මිලදී ගන්න දැන් රුපියල් 240 ක් අවශ්‍යයි. ග්‍රෑම් 400 කිරි පැකට්ටුවත් ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා රුපියල් 310 කින් වැඩිවී තිබෙනවා. පාන් පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 134 කින් ඉහළ යද්දී , පාන් ගෙඩියක මිල වැඩිවීම රුපියල් 83 ක්. ජනවාරි පළමු වැනිදා වෙනකොට රුපියල් 1275 ක් වුණු සිමෙන්ති කොට්ටයක අද මිල රුපියල් 2,850 ක්. මේ සියලු දේ වලින් සිදුවන්නේ දිනෙන් දින මහජනතාව අමාරුවේ වැටීමයි. මේවාට විසඳුම් ලැබෙන්නේ කවදාද?