by Staff writer 29-04-2022 | 9:07 PM
COLOMBO (News 1st) – සමාජ මාධ්‍ය යොදාගෙන මහජනතාව තුළ කැළඹීමක් ඇතිවන ආකාරයේ පුවත් පල කළැයි අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට තීරණය කරන්නැයි ඉල්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේ ය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කුමාර, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු 12 දෙනෙක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ , සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජනාධිපතිවරයා විවේචනය කළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට කටයුතු කළ බවයි.
එලෙස වගඋත්තරකරුවන් විසින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝණය වූ බවට පෙත්සම්කරු සිය පෙත්සම මගින් චෝදනා කරයි.
ඒ අනුව, සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන් ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අය කර දීමට නියෝග නිකුත් කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර
"අද අපි ශ්‍රේෂ්ඨාධිකරණයට අවේ මගේ සිද්ධිය සම්බන්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න.අපි දකිනවා ලංකාවේ පොලිසිය බොහෝ වෙලාවට මිනිස්සුන්ගේ මුලික අයිතිවාසිකම්වලට ගුරු නොකර ඔවුන්ට හින්සා කිරීම සඳහා නීතිය භාවිතා කරනවා. අපි විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේ දේවල්වලින් පොලිසිය වැළකෙයි කියලා. මොකද ඔවුන්ට සිද්ධ වෙනවා පුද්ගලිකවම ඔවුන් කරන නීති විරෝධි කටයුතුවලට වගකියන්න"