වෘත්තිය සමිති රැසක් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

by Staff Writer . 28-04-2022 | 7:53 AM

COLOMBO (News 1st) –  රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් ඒකාබද්ධව අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වේ.

ඒ, ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමිනි. වැඩ වර්ජනයට ගුරු විදුහල්පති වෘත්තිය සමිති ද එක්ව සිටින බව, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසී ය. දුම්රිය සේවකයින් පිරිසක් ද වැඩ වර්ජනයට එක්ව සිටින අතර දුම්රිය පාලකවරුන් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළේ ය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ද, සියලු සේවා අද සිදු නොකෙරෙන බව, එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසී ය. වැඩවර්ජනය හේතුවෙන් කාර්යමණ්ඩලය නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීම, ඊට හේතුවයි. ‍මේ අතර වැඩවර්ජනයට සහය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද දහවල් විරෝධතා ව්‍යාපාරවල නිරත වීමට තීරණය කර තිබේ. අද, ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු රැගෙන ඒමෙන් වළකින්නැයි සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැණිං වෙළෙඳපොළ වෙළෙඳ සංගමය ගොවින්ගෙන් ඉල්ලීමක් කරයි. වෘත්තිය සමිති ආරම්භ කළ වැඩ වර්ජනයෙන් පොදු ප්‍රවාහනයට යම් බලපෑමක් වෙයි ද ? ඒ පිළිබඳව නිවුස් ෆස්ට්, ප්‍රවාහන බලධාරීන්ගෙන් විමසීමක් කළේ ය. ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ සේවකයින් වැඩ වර්ජනයට සම්බන්ධ වන බව, පාලනාධිකාරියට දැනුම් දී නොමැති බවයි. ඒ හේතුවෙන් සාමාන්‍ය කාලසටහන් අනුව ලංගම බස් ධාවනයට සැලසුම් කර ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසී ය. පෞද්ගලික බස් ධාවනය, හිමිකරුවන්ගේ අභිමතය පරිදි සිදු කිරීමට උපදෙස් දී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසී ය. මේ අතර දුම්රිය සාමාන්‍යාධිකාරි ධමිමික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ,   සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් අද, දුම්රිය ධාවනය අඩාලවී ඇති බවයි. ඒ හේතුවෙන් ඔහු ජනතාවට දැනුම් දෙන්නේ විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කරන ලෙසයි.