සර්ව පාක්ෂික ආණ්ඩුවක ව්‍යුහය පිළිබඳ සාකච්ඡාවකට සූදානම් - ජනපති

by Staff Writer . 27-04-2022 | 12:34 PM

COLOMBO (News 1st) –  රට මුහුණ දී තිබෙන අර්බුදයට පිළියමක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස තමන් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පවසන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින් සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂවල නායකයින් වෙත ලිපියක් යොමු කරමිනි. එම ලිපිය මගින් ලබන 29 වැනිදා පෙරවරු 10 .30 ට ජනාධිපති මන්දිරයේදී සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ. වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් අනතුරුව පිහිටුවීමට යෝජිත මෙම සර්ව පාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය, ක්‍රියාත්මක විය යුතු කාල සීමාව, වගකීම් ලබාදෙන පුද්ගලයින් කවුරුන්ද යන්න ඇතුළු ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් ලබන 29 වැනිදා සාකච්ඡාවේදි , සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බව ද ජනාධිපතිවරයා පක්ෂ නාකයින් වෙත වෙත යැවු ලිපියේ සඳහන් ය.