by Staff Writer . 26-04-2022 | 5:04 PM
COLOMBO (NEWS1ST): සියලු පක්ෂවල එකඟතාවකින් ගොඩනගන ආණ්ඩුවක අගමැති ධුරයට සුදුස්සෙකු පාර්ලිමේන්තුවේ නොමැති නම්, ජාතික ලැයිස්තුවෙන් නම් කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනා කරයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම යෝජනාව සිදු කළේ, අද උදෑසන පැතිකඩ වැඩසටහන හා එක්වෙමිනි.
රට මුහුණදී ඇති බරපතළ තත්ත්වයට මුහුණ දීම සඳහා සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතුය යන්න නීතිඥ සංගමයේ ස්ථාවරය බව ද ඔහු එහිදී සඳහන් කළේ ය.
නීතිඥ සංගමය යෝජනා කරන්නේ, ඒ තුළ අගමැතිවරයා එලෙස පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂවල එකඟත්වයක් ඇති කළ හැකි මන්ත්‍රීවරයෙකු බවයි.
කෙසේ වෙතත් වත්මන් පාර්ලිමේන්තුව තුළ එසේ කළ නොහැකි නම්, ජාතික ලැයිස්තුවෙන් හෝ පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට ගෙනැවිත් එම පුද්ගලයා අගමැති ලෙස පත් කරන ලෙස නීතිඥ සංගමය යෝජනා කර සිටී.