අර්බුදය විසඳා ගැනීමට වහා ක්‍රියා කළ යුතුයි.. ප්‍රධාන සමාගම් 4ක් අවධාරණය කරයි

by Staff Writer . 22-04-2022 | 12:39 PM

COLOMBO (News 1st) –  වත්මන් සමාජ, ආර්ථීක, අර්බුදය විසදා ගැනීම සදහා වහා ක්‍රියාකළ යුතු බව මෙරට ප්‍රධානතම සමාගම් 4ක් අවධාරණය කරයි.

මෙරට ප්‍රමුඛතම සමාගම් වන MAS හෝල්ඩින්ග්ස්, ජෝන් කීල්ස් සමූහය, හේමාස් සහ ඩයලොග් සමාගම් මේ බව අවධාරණය කරන්නේ නිවේදන නිකුත් කරමිනි. MAS හෝල්ඩින්ග්ස් සමාගම අවධාරණය කරන්නේ සාමකාමී හා තිරසර ක්‍රියාමාර්ග තුළින් වහාම වත්මන් ආර්ථික හා සමාජ ගැටලු විසඳීම සඳහා තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. වගකිව යුතු සංවිධානයක් ලෙස යහපාලනය ඇතුළු වෙනස්කම් ඇතිකිරීම සඳහා නීත්‍යනුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග තුළ ජනතාව ජාතික නායකයින්ට නගන හඬට තමන්ද කොන්දේසි විරහිතව සහය දෙන බව සඳහන් ය. ජෝන් කීල්ස් සමූහය අවධාරණය කරන්නේ රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා හා පීඩනයන් තමන්ට හොඳින් වැටහෙන අතර රාජ්‍ය පාලනය වගකීම් සහගත බව සහ විනිවිදභාවය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ජනතාව දරණ අදහස් සමග ඔවුන්ද එකඟ වන බවයි. ජනතාව ඉල්ලා සිටින තමන්ද සහාය දක්වන ඉල්ලීම්වලට තිරසර විසඳුමක් ලබාදීමට නිසි පියවර ගන්නා ලෙසත් එසේ නොවුණහොත් සමාජ නොසන්සුන්තාවන් දිගින් දිගටම පැවතීමේ අවදානම පිළිබඳව දැනුවත්ව කටයුතු කරන ලෙසත් රටේ නයාකත්වයෙන් ඉල්ලා සිටින බව ජෝන් කීල්ස් සමූහය පවසනවා. ඔවුන් අවධාරණය කරන්නේ ආර්ථික යළි ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය ඇති කිරීමට ජනතාවගේ කැමැත්තට ගරු කරමින් හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා මෙන් දේශපාලන නායකයින් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි. ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් ජනතාව කරන ඉල්ලීම්වලට තම සමාගම අඛණ්ඩව සහය දෙන බව හේමාස් සමාගම ද නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනතාවගේ දුක්ගැනවිලිවලට සවන් දෙන ලෙසත් එකට එක්වී වහාම ගත යුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරණ ලෙසත් එම සමාගම ජාතික නායකයින්ගෙන් ඉල්ලා සිටී. ඔවුන් පවසන්නේ මේ ක්‍රියාමාර්ග තුළින් යහපාලනය දූෂණයෙන් තොර ජනවර්ග වල අයිතිවාසිකම් සුරක්ෂිත කරන හරි මාවතකට රට අවතීර්ණ කරන ලෙසයි. යහපාලනයේ ඉහළ තලයකට රට ඔසවා තබමින් වඩාත් විනිවිදභාවයෙන් යුතු දක්ෂතාවන්ට මුල්තැන දෙන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් කරන ඉල්ලීම් සමග තමන්ද සිටින බව ඩයලොග් සමාගම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ තිරසාර අනාගතයක් වෙනුවෙන් ආර්මාර්ථකාමීත්වය පසකලා එකට එක්වී යහපත් සහ ප්‍රගතිශීලි ක්‍රියමාර්ග ගෙන උද්ගත වී ඇති අර්බුදයෙන් මිදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බලය ඇති සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව මෙහි සඳහන් ය.