by Staff Writer . 21-04-2022 | 10:33 AM
COLOMBO (News 1st) – යුක්‍රේනයේ මරියපෝල්හි නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්යන, ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩයක් නිකුත් කර තිබේ.
ඒ, රුසියාව යටත් වීම සඳහා ලබාදුන් කාල සීමාව, යුක්‍රේන හමුදාව කිසිදු යටත්වීමක් නොපෙන්වා ගෙවී යාමෙන් පසුවයි.
"ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය" යනුවෙන් මරියපෝල්හී නාවික හමුදා අණදෙන නිලධාරීයා සිය වීඩියෝ පණිවිඩය අන්තර්ජාලයට මුදා හැර තිබේ.
එම පණිවුඩයෙන් අණදෙන නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දැවැන්ත රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සිය හමුදාව අවසන් මොහොත දක්වා උත්සහය අත්නොහරින බවයි.
යුක්‍රේන හමුදා සෙබළුන් කොපමණ ප්‍රමාණයක් මරියපෝල් නගරයේ රැඳී සිටිනවාද යන්න නිෂ්චිතව දක්වා නොමැත.
නමුත් තුවාල ලැබූ භටයන් 500 ක් පමණ වානේ කම්හලක් තුළ රඳවා ප්‍රතිකාර කරන බව මරියපෝල්හී නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්යන තහවුරු කළේ ය.
36 වැනි සමුද්‍ර බලඇණියට නායකත්වය දෙන ඔහු පැවසුවේ තම භට පිරිස් සඳහා අවශ්‍ය සැපයුම් හිඟ වෙමින් ඇති බවයි.
එබැවින් මෙම වීඩීයෝ පණිවිඩය, සිය හමුදා බලඇණිය ලෝකය ආමන්ත්‍රණය කරන අවසන් අවස්ථාව විය හැකි බව මරියපෝල් හී නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්යන පවසයි.
අවසන් වශයෙන් ඔහු ලෝක නායකයින් අමතමින් ආයාචනා කළේ, සිය හමුදාවට උපකාර කරන ලෙසයි.