රඹුක්කන විරෝධය: පොලිස් වෙඩි පහරින් එක් අයෙකු මරුට

රඹුක්කන විරෝධය විසුරුවා හැරීමට පොලීසියෙන් වෙඩි: එක් අයෙකු මරුට

by Staff Writer . 19-04-2022 | 7:37 PM

COLOMBO (News 1st) - රඹුක්කන විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය සිදු කළ වෙඩි තැබීමෙන් අනතුරුව කැගල්ල රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් තිබේ.

කැගල්ල රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, වෙඩි තැබීම් තුවාල හේතුවෙන් ඔහු මිය යන්නට ඇතැයි සැක කරන බවය. මේ වනවිට තුවාල ලැබු 12 දෙනෙකු කැගල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි රොහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළාය. ඇය කියා සිටියේ දෙදෙනෙකු සැත්කම්වලට ලක් කරමින් ඇති බවය. තෙල් මිල වැඩි කළත්, තෙල් නොමැතිව පීඩාවට පත්වීමට තමන්ට සිදුව ඇතැයි පවසමින් රඹුක්කනදී මෙම විරෝධතාව අද පෙරවරුවේ ආරම්භ කළේය. රඹුක්කන නගරයේ සියලු පිවිසුම් මාර්ග අවහිර කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත විය. ඒ අනුව, රඹුක්කන - මාවනැල්ල මාර්ගය, රඹුක්කන - කෑගල්ල මාර්ගය, රඹුක්කන - කුරුණෑගල මාර්ගය ඇතුළු සියලු පිවිසුම් මාර්ග විරෝධතාකරුවන් අවහිර කළේය. අප වාර්තාකරු පැවසුවේ, විරෝධතාකරුවන් දුම්රිය මාර්ගය ද සිල්පර කොට යොදා අවහිර කළ බවය. මේ හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා ඇතිවූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. මෙම විරෝධතාවයට සමගාමීව නගරයේ සියලු වෙළෙඳසැල් ද වසා දැමුණි. අනතුරුව විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීමේදී වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර එහිදී කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවය.