COLOMBO (News 1st) – ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීම, අගමැතිවරයා ප්රමුඛ ඇමති මණ්ඩලය ඉවත්වීම ඇතුළු ප්රජාතන්ත්රවාදී වෙනස්කම් ඉල්ලා කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවට අදට දින 10 ක් සම්පූර්ණ වේ.
දින කිහිපයක නිවාඩුව අවසන් වූවද , ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලයට එක්වන ජනතාවගේ අඩුවක් අද දිනයේත් දක්නට නොලැබිණ.
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන පිවිසුම ඉදිරිපිට සිට ජනතාව සිය අඛණ්ඩ විරෝධය පළ කළේ ය.
අරගලයට සහය පළ කරමින් තොරතුරු තාක්ෂණ ඉංජිනේරු ලලිත් නන්ද කුමාර හේවාරත්න මහතා ඊයේ ආරම්භ කළ සත්‍යග්‍රහය අද උදෑසන අවසන් කළේ ය.
මම අද මේ වෙනකම් ගෙනාපු බැටන් එක හෙල්ල විසි කිරිමේ රෙකෝඩ් එක හෝල්ඩ් කරන සචිත් මධුරංගට හැන්ඩ් ඕවර් කරනවා.මේ අරගලය හුදෙක් ලංකාවේ හැමෝම වෙනුවෙන්. ලංකාවේ හැම හතර දික් භාගයකම ඉන්න හැමෝම වෙනුවෙන් කරන අරගලයක්. මේක අපේ පෞද්ගලික අරගලයක් නෙමෙයි.
අනතුරුව 2013 ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරග ඉසව්වේ රිදී පදක්කම්ලාභී සචිත් මදුරංග පැය 24 ක සත්‍යග්‍රහයක් ආරම්භ කළේ ය.
ක්‍රීඩකයින් විදිහට ජාත්‍යන්තර මට්ටමට ගිහිල්ලා ඉතාමත් ආඩම්බරයෙන් ශ්‍රී ලංකාව කියන නම කිව්වා. හැබැයි මේ යන තත්ත්වය උඩ ඉස්සරහට ශ්‍රී ලංකාවේ නම කියන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. හිතන්න අපෙන් පස්සේ එන ක්‍රිඩකයන් අපි වගෙ කෙහොම ද අපේ ලංකාවේ නම කියන්නෙ. ඒක නිසා අපි ඔක්කොම එකතු වෙන්න ඕනි.
කටාන ප්‍රදේශයේ සිට පාපැදි ධාවනකරුවන් පිරිසක් අද ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණියේ ය.
'' මේ පාලකයෝ මේක දාලා යන්නේ නැහැ. මේක දින 10 ක් වෙනවා මෙයාලා දාලා යන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙත් මේකට විසදුමක් දෙන්නේ නැහැ.අපි මේ රටට ආදරෙයි. අපිට යන්න තැනක් නැහැ. අපිට යන්න තැනක් ඉතුරු වෙලා නැහැ. අපිට යන්න කොහෙන්ද සල්ලි. කරුනාකරලා මේ පාලකයින්ට කියනවා දැන්වත් මේ රට කරන්න පුලුවන් කෙනෙක්ට දීලා යන්න. මේ මුතු ඇටේ අපි රැක ගන්න ඕනේ. ඒක අපි රැක්කේ නැත්නම් කවුද දෙයියනේ රකින්නේ''
කලාකරුවන්, විද්වතුන්, වෘත්තිකයින් ඇතුළු විවිධ ක්ෂේත්රවල පිරිස් අදත් විරෝධතා භූමියේදී දැකගත හැකි වූ අතර ශ්‍රවණාබාධිත ඇතුළු විශේෂිත අවශ්‍යතා ඇති ජනතාව ද අද මෙම අරගලයට එක්ව සිටියේ ය.
ඊයේ දිනයේදී අරගලයට සහය පළ කිරීම සඳහා එක්වූ අබාධිත රණවිරුවන් , තවදුරටත් එහි රැඳී සිටී.
ගෝඨාගෝගම ලෙස නම්කර ඇති ස්ථානයේ සහ අවට විවිධ ක්‍රියාකාරකම්වලින් ජනතා විරෝධය පළ වෙමින් තිබේ.
පුස්තකාලයක් , නොදිරන කසල එක්රැස් කිරීමේ ස්ථානයක් , එක්සත් ජාතීන්ගේ අවධානය දිනා ගැනීමට අත්සන් කරනු ලබන පෙත්සමක්, එළිමහන් රංග පීඨයක්ද මේ විරෝධතා භූමියේ දැකගත හැකියි.
මේ අතර ප්රක්ෂේපන යන්ත්‍රයක් භාවිත කරමින් ඊයේ පළ කළ විරෝධය මැඩ පැවැත්වීම සඳහා අද ජනාධිපති කාර්යාලය පරිශ්‍රයේ අධිබලැති විදුලි පහන් සවිකරන අයුරුද දක්නට ලැබිණ.