IMF සමග සාකච්ඡා කරන්න මුදල් ඇමති වොෂින්ටනයට

IMF සමග සාකච්ඡා කරන්න මුදල් ඇමති ඇතුළු පිරිස වොෂින්ටන් බලා යයි..

by Staff Writer . 17-04-2022 | 7:25 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්‍රි මහතා ඇතුළු නියෝජිත පිරිස අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය.

අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව ගිය එම නියෝජිත පිරිසට, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඇතුළත් වේ. ඩොලර් බිලියන 4 ක ආධාර ලබා ගැනීම සඳහා ලබන සඳුදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පළමු වටයේ සාකච්ඡා, ලබන 24 වැනිදා දක්වා පැවැත්විමට සැලසුම් කර ඇතැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ ය. ඔහු පැවසුවේ පසුගිය සතියේ සිට දින 6 කට ආසන්න කාලයක් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග තාක්ෂණික මටට්මේ සාකච්ජා පැවැත්වු බවයි.