සාමකාමී විරෝධතාකරුවන්ට හමුදා බලය යොදන්නේ නෑ

සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නැහැ - ආරක්ෂක ලේකම්

by Staff Writer . 17-04-2022 | 11:47 AM

COLOMBO (News 1st) - සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.

ආරක්ෂක ලේකම්වරයා උපුටා දක්වමින්, ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා කිසිසේත්ම හමුදා භටයින් යොදා නොගන්නා බවය. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය මුහුණු පොතෙහි(Facebook), ආරක්ෂක ලේකම්වරයාට සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපතිවරයා අමතා තබා තිබූ සටහන සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය නිකුත් කර තිබේ. නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රචණ්ඩකාරී අවස්ථාවකදී රටේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආරක්ෂා කිරීමට සහ සියලු ශ්‍රී ලාංකිකයින් අතර සාමය සහ සහජීවනය ඇති කිරීමට පොලීසිය සහායක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලීසියේ ඉල්ලීම පරිදි හමුදා සහාය ලබාදෙන බවය. සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදෙන පුද්ගලයින් අතරට බුද්ධි අංශ සාමාජිකයින් යවා ඔවුන් මගින් යම් කලකෝලාහල තත්ත්වයක් ඇති කර හෝ බෝම්බ පිපිරීමක් වැනි යමක් සිදුකර හුවා දක්වමින් ඔවුන් විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාවේ අදහසක් ඇතැයි සමාජ මාධ්‍යයේ පලවන, වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ද,ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා උපුටා දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක් බවය. සාමකාමී විරෝධතාවලට මුවා වී රාජ්‍ය දේපොළ හෝ පෞද්ගලික දේපොළ විනාශ කරන්නන්ට සහ ඒ සඳහා නායකත්වය දෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පොලීසිය විසින් ගනු ලබන බවද ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරයි.   https://youtu.be/nMmFdr2P2Ng