විරෝධතාවලට ජනතාවට ඇති අයිතිය වළක්වන්න එපා..

විරෝධතා සඳහා ජනතාවට ඇති අයිතිය වැළැක්වීමට පියවර ගන්න එපා.. - ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට අවධාරණය කරයි

by Staff writer 16-04-2022 | 11:12 AM

COLOMBO (News 1st) – විරෝධතා පැවැත්වීම සඳහා ජනතාවට ඇති නීත්‍යානුකූල අයිතිය වැළැක්වීම සඳහා කිසිදු පියවරක් ගැනීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයට අවධාරණය කර සිටී.

නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය පවසන්නේ, ගාලු මුවදොර පිටියේ විරෝධතාව පැවැත්වෙන ස්ථානය ආසන්නයේ පොලිස් ට්‍රක් රථ කිහිපයක් ස්ථානගත කර ඇති බව වාර්තා වූ බවයි. සමාජ මාධ්‍ය හරහා ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග සිය සංගමය කළ දැනුම්දීමකට අනූව මේ වනවිට එම ට්‍රක් රථ ඉවත් කරගෙන ඇතැයි ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි. එම සංගමය පවසන්නේ, ජනතාව විසින් පවත්වන සාමකාමී විරෝධතාවයක් වැළැක්වීමට පියවර ගැනීම බරපතල සිදුවීමක් බවය. එවැනි ක්‍රියාමාර්ග හරහා රටට, ප්‍රජාතන්ත්‍රවාදයට, ආර්ථිකයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතල බලපෑමක් එල්ල විය හැකි බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.