කෘෂිකාර්මික වැඩවලට සීමාවකින් තොරව ඉන්ධන

කෘෂිකාර්මික කටයුතුවලට සීමාවකින් තොරව ඉන්ධන: කඩිනමින් ඉන්ධන බෙදාහැරීමට එක්වන්නැයි බවුසර් හිමියන්ට දැනුම්දීමක්..

by Staff writer 16-04-2022 | 6:52 AM

COLOMBO (News 1st) – කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණයකින් තොරව ඉන්ධන නිකුත් කෙරෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ, යතුරු පැදි, ත්‍රීරෝද රථ, කාර් , වෑන් , ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමාකර ඇති බවය. ඒ අනුව, ඊයේ(15) පස්වරු 1.00 සිට සති දෙකක කාලයක් සඳහා මෙය ක්‍රියාත්මක වේ. යතුරු පැදි සඳහා ඉන්ධන නිකුත් කළ හැක්කේ රුපියල් දහසක උපරිමවකට යටත්වයි. ත්‍රිරෝද රථ සඳහා රුපියල් 1500 ක් ද, කාර් , වෑන් , ජීප් ඇතුළු අනෙකුත් වාහන සඳහා රුපියල් පන්දහසක ද ඉන්ධන නිකුත් කෙරනු ඇති. මෙම සීමා කිරීම් බස් රථ සහ සෙසු වාණිජ කටයුතු සඳහා භාවිත වන ඩීසල් වාහන සඳහා අදාළ නොව ද බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත්කළ චක්‍රලේඛයේ සඳහන් වේ. විවිධ පාර්ශ්ව රැගෙන එනු ලබන බැරල්, බූලී සහ ප්ලාස්ටික් ටැංකි වැනි භාජනවලට ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවා ඇති බව ද ඔහු පැවසුවේ ය. සුමිත් විජේසිංහ මහතා පැවසුවේ, බෙදාහැරීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ඉන්ධන ප්‍රවාහනයේ නිරත බවුසර් හිමියන් කඩිනම්ව කැඳවා ඇතැයි ද ඔහු පැවසුවේ ය. ඉන්ධන අලෙවිය සීමා කිරීමත් සමග ගැටලු රැසක් මතුව ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි. කෙසේ වෙතත් ඉන්ධන ලබා ගැනීමට ජනතාව දිගු පෝලිම්වල සිටිනු තවදුරටත් දැකිය හැකි ය.