කල්බදු ක්‍රමයට ගුවන් යානා 21ක් ලබා ගැනීමේ සූදානමක්

යානා 21ක් කල්බදු ක්‍රමයට ලබා ගැනීමේ සූදානමක් ගැන ශ්‍රීලංකන් කරුණු පහදයි

by Staff Writer . 15-04-2022 | 1:01 PM

COLOMBO (News 1st) – දිගු කාලීන උපාය මාර්ගික ව්‍යාපාරික සැලැස්මට අනුව ගුවන් යානා 21 ක් කල්බදු ක්‍රමයට ලබාගැනීම සඳහා යෝජනා 4 ක් කැඳවූ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම සමාගම සඳහන් කරන්නේ 2025 වනවිට තම ගුවන් යානා ඇණිය 35 කින් ශක්තිමත් කිරීම ව්‍යාපාරික සැලැස්ම බවයි. ශ්‍රීලංකන් සමාගමට ගුවන් යානා 21 ක් කල්බදු ක්‍රමයට ලබාගැනීම පිළිබඳව මේ වනවිට සංවාදාත්මක තත්ත්වයක් ඇතිවී තිබේ. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සමාගම නිවේදනය කළේ, දැනටමත් ඉවත්කර ඇති ඒ 320 හා 330 යානා දෙකක් වෙනුවට යානා ලබා ගැනීම සඳහා යෝජනා දෙකක් කැඳවා ඇති බවයි. අලුතෙන් ගුවන් යානා ලබාගැනීමට තවත් යෝජනා දෙකක් කැඳවා ඇති බව ශ්‍රීලංකන් සමාගම සඳහන් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ, කල්බදු ක්‍රමයට ලබා ගැනීමට නියමිත යානාවලින් 60% ක්ම සමාගම සතුව ඇති ධාවනයෙන් ඉවත්වන යානා වෙනුවට භාවිත කිරීම සඳහා ලබා ගන්නා බවයි. කොවිඩ් වසංගත කාලසීමාව තුළ යානා 3 ක් සිය ඇණියෙන් ඉවත් කළ බව පවසන ශ්‍රී ලන්කන් සමාගම පෙන්වා දෙන්නේ ලොව රටවල් 25 ක ගමනාන්ත 40 කට සේවා සැපයීම සඳහා මේ වනවිට තමන් සතුව ඇත්තේ යානා 24 ක් පමණක් බවයි. උපායශීලීව කොවිඩ් වසංගතයෙන් එල්ලවූ බලපෑමෙන් මිදෙමින් ඇති අවස්ථාවක සිය ගුවන් ගමන්වාර වැඩි කිරීමටත් ගමනාන්ත පුළුල් කිරීමටත් ඇති සැලසුම් සදහා ගුවන් යානා ඇණිය පුළුල් කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රීලංකන් සමාගම සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.