අතිවිශාල ජනතාවක් ගාලු මුවදොර අරගල භූමියට

අතිවිශාල ජනතාවක් ගාලු මුවදොර අරගල භූමියට

by Staff Writer . 15-04-2022 | 12:32 PM

COLOMBO (News 1st) –  ජනාධිපතිවරයාට සහ වත්මන් ආණ්ඩුවට ඉවත් වන්නැයි, බල කරමින් ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක විරෝධතාව 07 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

සාමාන්‍ය ජනතාව මෙම විරෝධතාවට එක්ව සිටින්නේ, කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරවයි. කොළඹ ගාලු මුවදොර ඉදිරිපිට විරෝධතා භූමියට අද උදෑසන පටන්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණියේ ය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අසල ද පිරිස අඛණ්ඩව විරෝධතාවයේ නිරතව සිටී. අලුත් අවුරුද්ද සැමරූ ඊයේ දින රාත්‍රියේද, විරෝධතා භූමියට විශාල පිරිසක් එක්ව සිටියහ. ඊයේ මධ්‍යම රාත්‍රියේදීත් ජනතාව ගාලු මුවදොර ඉදිරිපිට රැඳී සිටිමින් විරෝධය පළ කළේ ය. මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ රැසකදීත් විරෝධතා පැවැත්විණ. ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවට එක් වීම සඳහා මීගමුව දුම්රිය ස්ථානයේ සිට පිරිසක් අද උදෑසන පිටත් විය. වලස්මුල්ල කිරම ප්‍රදේශයේ තරුණ තරුණයින් පිරිසක් අද පෙරවරුවේ කිරම මංසන්ධියේදි විරෝධතාවයේ නිරත විය. ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් හොරණ නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිටදි පුද්ගලයෙකු විරෝධතාවයේ නිරත විය. ඔහු තම දියණියන් දෙදෙනාගේ ඡායාරූප ද රැගෙන පැය 02 ට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත විය. වත්මන් රජයට වහා ඉල්ලා අස්වන්නැයි බලකරමින් විදේශ රටවල වෙසෙන ලාංකිකයින් ද විරෝධතාවල නිරතවන්නේ සති කිහිපයක සිටයි. දූෂිත පාලනයට එරෙහිව ස්වාධීන ශ්‍රී ලාංකිකයින්ගේ ජන හඩ මැයෙන් විරෝධතාවක් ඊයේ ඉතාලියේදී ද පැවැත්විණ. විරෝධතාවය පැවැත්වුණේ රෝමයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදීයි. ඊට ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් එක්ව සිටි අතර පිරිස ඉල්ලා සිටියේ දූෂිත පාලකයින් වහා ඉවත් කළ යුතු බවයි. මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා රාජ්‍ය විශ්විද්‍යාලය ඉදිරිපිටදී ද නිහඬ විරෝධතාවක් පසුගියදා පැවැත්වුණේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට වහා ඉවත්වන ලෙස බලකරමිනි.