ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!

by Staff Writer . 14-04-2022 | 8:51 AM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාවේ ජාතික මහා සංස්කෘතික මංගල්‍ය ලෙස සැලකෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද පෙරවරු 8.41ට උදා විය.

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශ්‍රියට සංක්‍රමණය වීම නිමිත්තක් කොට ගත් අලුත් අවුරුද්ද සංඛේතවත් කරන්නේ සමගිය හා සශ්‍රීකත්වයයි. මෙවර අවුරුද්ද ලබන විට රට විනාශයෙන් මුදා ගැනීම සඳහා වන සියලු ජාතීන් අතර සමගිය මතුවී තිබේ. එහෙත් සශ්‍රීකත්වය පිළිබඳ ප්‍රශ්න විසඳී නොමැත. මෙවර අලුත් අවුරුද්ද සමරන්නට සිදුව තිබෙන්නේ පොහොර නැති , වගා ජලය හිඟ , වැඩි මිලට පිටරට සහල් මිලදී ගන්නා . වල්පීදුණු කුඹුරු සහිත වාතාවරණයකයි. අලුත් අවුරුද්ද කියන්නේ , නව මාවතක් විවෘත වන දිනයයි. නමුත් අද ලක්වාසී ජනතාව ගෙවමින් සිටින්නේ නව මාවතක් සොයා ගැනීමේ අරගලකාරී වකවානුවකි. පවතින ව්‍යසනකාරී තත්ත්වයෙන් මිදී රටට සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් ලක්වාසී ජනතාව අද අලුත් අවුරුද්ද පිළිගත්තේ ය. උදා වූ නව වසර පිළිගනිමින් මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා මාළිගාව ප්‍රමුඛ වෙහෙර විහාරස්ථාන රැසක ආගමික වතාවත් සිදු කෙරිණ. හින්දු භක්තිකයින් ද අද පෙරවරුවේ සිට කෝවිල් වෙත පැමිණ නව වසරට ආශිර්වාද ලබාගත්තේ ය. ස්නානය කොට, කිරි ඉතිරවීමෙන් පසු කෝවිල් වෙත ගොස්, දේව ආශිර්වාද ලබාගැනීම අලුත් අවුරුදු උදාවේ හින්දු භක්තිකයින්ගේ ප්‍රධාන චාරිත්‍රයකි.