අගමැතිගේ ඇරයුමට ලැබුණු ප්‍රතිචාර

අගමැතිගේ ඇරයුමට, ගාලු මුවදොර අරගලයේ නිරත තරුණයින්ගෙන් ,ප්‍රතිචාර (Video)

by Staff Writer . 13-04-2022 | 8:52 PM

COLOMBO (News 1st) –  වෙනදාට අවුරුද්ද පිළිගන්න නිවෙස්වලට වී ලක ලෑස්ති වෙන බොහෝ පිරිසක් මේ වෙද්දිත් සිටින්නේ, ගාලු මුවදොර අරගල භූමියේයි.

කෙසේ වෙතත් සමාජ, ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොර විරෝධතාවයේ නිරත වන පිරිස සමඟ අග්‍රාමාත්‍යවරයා වශයෙන් තමන් සාකච්ඡාවකට සුදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දැනුම් දුන්නේ ය. අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, මේ සඳහා විරෝධතාවයේ නිරත පිරිස සුදානම් නම් ඔවුන්ට ඒ සඳහා ආරාධනා කරන බවයි. අරගලයේ නිරත පිරිස අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ඇරයුමට මෙලෙස ප්‍රතිචාර දැක්වීය.
''සාකච්ඡාවලට නෙවෙයි මහත්තයෝ ආවේ මෙතනට අපි කියන්නේ කට්ටියමට ගෙදර යන්න කියලා. ඔයාලා ගෙදර යන්න ඊට පස්සේ බලාගන්නම් මොකද කරන්නේ කියලා'' ''අපිට සාකච්ඡා ඕනේ නැහැ. ගෙදර පලයන් ගෝඨා ගෙදර පලයන් උඹ ගෙදර යනකං අපේ උන්ට අවුරුදු නෑ. ගෙදර පලයන් ගෝඨා උඹේ සාකච්ඡාව උඹේ පවුල් පිටින් උඹම තියාගනිනන් ගෝඨා'' ''බොරු සාකච්ඡා එපා, බොරු සාකචඡා වැඩක් නැහැ. මේ රට මේ තත්ත්වයට පත්කළේ ඔයගොල්ලන් ඒක හින්දා උඹලා මෙතනින් බැහැලා යනකං සාකච්ඡා නෑ උඹලා පලයන්. උඹලා ගිය දාට මේ තරුණයෝ විසිර යයි''
මේ සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීම සදහා සිවිල් ජනතා නිදහස් සටන්කාමී බලවේගයද අද ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ. එහිදී සිවිල් ජනතා නිදහස් සටන්කාමි බලවේගයේ චානක බණ්ඩාර මෙලෙස අදහස් පළ කළේ ය.
''දැන්ද අපි අහනවා අග්‍රාමාත්‍යවරයාගෙන් ඒක මතක් වුණේ,. අද තරුණයෝ ඇවිල්ලා මේ රටේ බලවේගඇවිල්ලා අග්‍රාමාත්‍යවරයා ඇතුළු ජනාධිපතිවරයා ගේ තියෙන මහා මන්දිර වට කරන කොට තමයි. මේ රටේ පාලකයන්ට මතක් වෙන්නේ සාකච්ඡා කරන්න කියලා. අපි ඒක හින්ද කියනවා මේ රටේ ජනතාවට අරගලය මොනම හේතුවක් නිසාවත් ආපස්සට ගන්න ලෑස්ති වෙන්න එපා. මහජනතාව ප්‍රකෝප කරවන්න එපා. පාලකයෝ තමයි මහජනතාව පාරට අරන් ආවේ දැන් කියනවා සාකච්ඡාවලට එන්න ලු අපි එන්නේ නැහැ. සාකච්ඡාවලට පාලකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අපිට ඉදිරිපත් කරන්න. අපිට පාලකයොත් එක්ක සාකච්ඡා කරලා වැඩක් නැහැ''
ප්‍රවීන කළාකරුවන්ගේ සහාය ද ඊට හිමිවූ අතර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළේ ය.
''රට විනාස කරන්නේ නැතුව මේ රටෙන් පිට වෙලා යන්න. යන්න කලින් හොරකම් කරපු සල්ලි ගෙවන්න. මේ ජනතාව කියන්නේ ඒකයි. මේ රට ඉල්ලා සිටින්න ඒකයි. ජනතා හඬට කන්දෙන්න කියලා. අපි මේ ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් සහ ඒගොල්ලොන්ට ආවඩන සියලු මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ජනතා හඬට කන් දීලා රජයෙන් ඉවත් වෙන්න''
අරගල භූමියට පැමිණි හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා ද මෙලෙස අදහස් පළ කළේ ය.
''පෙට්ට්‍රල් නෑ, ඩීසල් නෑ, පිටිකිරි නෑ, බෙහෙත් නෑ. ඉතින් මං හිතන්නේ මේකට වගකියන්න ඕනේ ඒගොල්ලන්. මේගොල්ලන්ට සහන දෙන්න ඕන. මේගොල්ලෝ වෙනස්වීම් කරන්න ඕන ඒවා කරන්න ඕනේ. මේ ගොල්ලන් පාර්ලිමේන්තුවට ගියත් එගොල්ලන්ගේ ඊළඟ ප්‍රශ්න ගැන කතා කරලා ඒගොල්ලන් කවුද බලයට එන්නෙ කියන එක නෙවෙයි, වැඩේ... බල තණ්හාව අයින් කරන්න ඕනේ''
මේ අතර විරෝධතා භූමියේ රැඳී සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු රෝගිවීමෙන්, රෝහල්ගත කිරීමට ද සෙඛ්‍ය අංශ පියවර ගත්තේ ය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් ජනතා විරෝධතා පැවැත්විය. පොළොන්නරුව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ භික්ෂූන්වහන්සේ පිරිසක් අද දහවල් නිහඩ විරෝධතාවක නිරත වුණේ මනම්පිටිය පාළම මත සිටයි.‍ නිකවැරටිය ප්‍රදේශයේදී ද මහා සංඝරත්නය අද උදෑසන සත්‍යග්‍රහයක නිරත වූහ. අද දහවල් තවත් විරෝධතාවක් පැවැත්වුණේ පොළොන්නරුව ඓතිහාසික දීප උයන ඉදිරිපිටදීයි. මේ අතර පවතින පාලනයට එරෙහිව රජරට විශ්විද්‍යාලයේ සිසුන් පිරිසක් අද අනුරාධපුර නව බස්නැවතුම්පළ ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. එය සංවිධානය කරනු ලැබ තිබුණේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසිනි. පැය දෙකක් පමණ අනුරාධපුර නව බස්නැවතුම්පලේ ඉදිරිපිට සිසුන් විරෝධතාවයේ නිරත විය.