ජනපති කාර්යාලය අසල ජන අරගලය තවදුරටත්

ජනපති කාර්යාලය අසල ජන අරගලය තවදුරටත්

by Staff Writer . 12-04-2022 | 8:50 AM

COLOMBO (News 1st) –  කිසිඳු දේශපාලනඥයෙකුගේ හෝ දේශපාලන පක්ෂයක මැදිහත්වීමකින් තොරව පසුගිය 09 වැනිදා උදෑසන සිට කොළඹට පැමිණි ජනතාව අද (12) සිව් වන දිනටත් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වේ.

ඒ පවතින වර්ෂාව ද නොතකමිනි. පිරිස ඊයේ රාත්‍රියේත් රැය පහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටියේදීයි. පිරිස දින 4ක් තිස්සේ, විරෝධතාවේ නිරත වෙමින් එක හඬින් ඉල්ලා සිටින්නේ, ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව සහ දේශපාලනයේ නාමයෙන් සොරා ගන්නා මුදල් යළි රටටම ලබා ගැනීම සඳහා නීති සකස්කරන ලෙසයි. මේ අතර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බොහෝ දෙනෙකු විරෝධතාකරුවන්ට ආහාර පාන ,ඖෂධ, සනීපාරක්ෂක පහසුකම් ලබා දෙමින් සහය දක්වන අයුරු දැකගත හැකිවිය. මේ අතර වත්මන් පාලනයට එරෙහිව ප්‍රදේශ රැසක තවදුරටත් විරෝධතා පැවැත්වේ. වත්මන් ආණ්ඩුවට වහා ගෙදර යන ලෙස බල කරමින් ජනතාව හොරණ රයිගම නගරයේදී ඊයේ පස්වරුවේ විරෝධතාවක නිරත වූ අතර බත්තරමුල්ල දියත උයන ඉදිරිපිටට රැස් වූ ජනතාව ද සිය විරෝධය පළ කළේ ය. මේ අතර ගාල්ල බෙන්තර මිරිස්වත්ත ප්‍රදේශයේ ජනතාව ද දේශපාලන පක්ෂ භේදයකින් තොරව ඊයේ පස්වරුවේ පන්දම් දල්වමින් සිය විරොධය පළ කළේ, වත්මන් ආණ්ඩුව වහා ගෙදර යා යුතු බව පවසමිනි.