විදේශ ණය වාරික හා පොලී ආපසු ගෙවීම තාවකාලිකව නවතයි

විදේශ ණය වාරික හා පොලී ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවයි

by Staff Writer . 12-04-2022 | 3:47 PM

COLOMBO (News 1st) – විදේශ ණය වාරික සහ පොලී ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු කියා සිටියේ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වන බවයි. මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සමග පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සියේ මේ අවස්ථාවේදී විදේශ ණය ආපසු ගෙවීම සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති අතර ණය ආපසු ගෙවීමට වඩා අත්‍යාවශ්‍ය භාණ්ඩ අනයනයට ප්‍රමුඛතාව දෙන බවයි. ඉන්ධන , ගෑස් , ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ආනයනයට එම මුදල් යොදවන බව ඔහු කියා සිටියේ ය. මේ අතර අපනයන ආදායම වාණිජ බැංකුවලින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනිවාර්ය පරිවර්තනය කිරීම 50% සිට 25% දක්වා අඩු කිරීමට ද මහ බැංකුව තීරණය කර තිබේ. එම ඉතිරි වන 25% විදේශ විනිමය අත්‍යවශ්‍ය ආනයන සඳහා බැංකු විසින් භාවිතා කරනු ඇතැයිද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ය. මහ බැංකු අධිපතිවරයා විදේශගතව සිටින ලංකිකයින්ගෙන් ඉල්ලා සිටියේ නිල මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවන ලෙසයි. එම මුදල් අනවශ්‍ය විදිහට ණය ගෙවීම් සඳහා වියදම් නොකරන බවත් මෙරට ජනතාවගේ අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය ඇතුළු අවශ්‍යතා සඳහා එම මුදල් යොදවන බවත් ඔහු සඳහන් කළේ ය.