සිරකරුවන්ට අමුත්තන් බැලීමට වි‍ශේෂ අවස්ථාවක්

අලුත් අවුරුද්දට සිරකරුවන්ට අමුත්තන් බැලීමට වි‍ශේෂ අවස්ථාවක්

by Sagarika Chathumali 12-04-2022 | 11:27 AM

COLOMBO (News 1st) –  සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට (12) සිට 16 වනදා දක්වා සිරකරුවන්ට අමුත්තන් බැලීම සඳහා වි‍ශේෂ අවස්ථාවක් සලසා දී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ අනුව එක් සිරකරුවෙකු බැලීම සඳහා ඔහුගේ ඥාතීන් තිදෙනෙකුට අවස්ථාව ලබා දී ඇති බවයි. සිරකරුගේ ඥාතීන් විසින් නිවසේදී සකස්කර ගෙන එනු ලබන බත් පාර්සලයක් හා රස කැවිලි එක් සිරකරුවෙකුට ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවස්ථාව හිමිවේ. සිරකරුගේ ඥාතියෙකුට ‍හෝ ඔහු විසින් නම් කරනු ලබන එක් පුද්ගල‍ෙකුට අදාළ කාලය තුළ එක් වතාවකදී සිරකරු වෙනුවෙන් මසකට තැන්පත් කරන රුපියල් 2000/- මුදලට අමතරව උත්සව සමය වෙනුවෙන් රුපියල් 2000/- මුදලක් බන්ධනාගාර ආපනශාලාවේ තැන්පත් කර එම තැන්පත් කරන මුදලින් කිරිපි‍ටි, සීනී, රස කැවිලි ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදු කළ හැකි බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මීට අමතරව තම නිවසින් ආහාර ‍වේලක් රැගෙන එමට අපහසු අමුත්තන් සඳහා අපනශාලාවේ තැන්පත් කරන ලද මුදලින් එක් අවස්ථාවකදී බත් පාර්සලයක් සිරකරුට ලබාදීම ද සිදු කළ හැකි වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියේ, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කෙරෙන මෙම අවස්ථාව හිමි වන්නේ, ඉහත සඳහන් කළ කාලය තුළදී පමණක් බවයි.