ජන අරගලය අඛණ්ඩව තුන්වන දිනටත්....

ජන අරගලය අඛණ්ඩව තුන්වන දිනටත්....

by Staff Writer . 11-04-2022 | 10:09 PM

COLOMBO (News 1st) – කිසිඳු දේශපාලන මැදිහත්වීමකින් තොරව පෙරේදා උදෑසන සිට කොළඹට පැමිණි ජනතාව මේ වන විටත් අඛණ්ඩව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වේ.

ජනාධිපති කාර්යාලයක් ඉදිරිපිට දීර්ඝ විරෝධතාවක් පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ පළමු වරටයි. එමෙන්ම දින 03 ක් සහ එතනින් එහාට යන විරෝධතාවක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ පළමු අත්දැකීමත් මෙයයි. තරුණ තරුණියන් පටන් ගත් මේ ජන අරගලයට විවිධ තරාතිරමේ පිරිස් ස්වෙච්ඡාවෙන් එකතු වෙන්නේ හැමෝටම ජීවත් විය හැකි , රටේ සම්පත් පුරවැසියන්ට අයිති වන , පෝලිමකින් තොරව ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගත හැකි , කොටින්ම ගෞරවනීය ලෙස හා නිදහසේ ජීවත් විය හැකි රටක් ඉතිරි කර ගැනීමටයි. සමහර තරුණ පියවරුන් පැමිණ සිටින්නේ, බිරිඳ සහ දරුවන් ද සමගයි. ඒ මේ පොදු සටන අද කිසිවක් නොතේරෙන කිරි කැටියන්ගේ අනාගතය වෙනුවෙන් වන බැවිනි. මේ වන විට විරෝධතාව 72 වැනි පැයට ආසන්න ය. නින්දක් නැහැ, පරිත්‍යාගශීලීන්ගෙන් ආහාර පාන ලැබුණ ද දැනෙන කෑමක් නැහැ, සනීපාරක්ෂක පහසුකම් නැහැ, ඒ මදිවට වැස්ස සද්දේ , දහඩිය , හතිය , දුක , ආවේගය ගාලුමුවදොර දෙපස සිටින මිනිසුන් අත්විදිමින් සිටී. මේ ස්වෙච්ඡා අරගලයේ අරමුණ හැමෝටම රටක්. ඒ වගේම රටට හෙටක්. මේ අතර වැලිමඩ කැප්පෙටිපොල නගරයේදි තරුණ තරුණියන් අද විරෝධතාවක නිරත විය. බදුල්ල - මහනුවර ප්‍රධාන මාර්ගයේ පාගමනින් පැමිණි පිරිස කැප්පෙටිපොල ඩිපෝව ඉදිරිපිට විරෝධතාවයේ නිරත විය. ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවට බල කරමින් උණවටුන සංචාරක කර්මාන්තයේ නිරත පිරිසක් අද පෙරවරුවේ උණවටුන පිල්ලේගොඩ මංසන්ධියේදි උද්ඝෝෂණයක නිරත විය. වත්මන් පාලනයට විරෝධය දක්වමින් මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් අද මහනුවර ඔරලෝසු කණුව වට රවුම අසල දී විරෝධතාවක නිරත විය. ආණමඩුව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් හා ඉගිනිමිටිය ගොවි ව්‍යාපාරයේ නියෝජිතයින් ආණමුඩුව ඔරලෝසු කණුව අසල වත්මන් පාලනයට එරෙහිව අද විරෝධය පළ කළේ ය. විරෝධතාවය හේතුවෙන් පැයකට ආසන්න කාලයක් කුරුණෑගල - පුත්තලම , කුරුණෑගල හලාවත හා කුරුණෑගල - නවගත්තේගම මාර්ග ආණමුඩුව ඔරලෝසු කණුව අසලින් අවහිර විය.