ගතවන සෑම තත්පරයකම කටයුතු කරන්නේ ජාතිය ගොඩගන්නයි - අගමැති

by Staff Writer . 11-04-2022 | 10:06 PM

COLOMBO (News 1st) –  ජනාධිපතිවරයාගේත් ආණ්ඩුවේත් සෑම තත්පරයක්ම ගත වන්නේ උද්ගතව ඇති අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

''අද අපි මුහුණ දී තිබෙන අර්බුදය ජය ගන්න අපි දැවැන්ත වැඩපිළිවෙළක යෙදිලා ඉන්නවා. ජනාධිපතිතුමාගේත් ආණ්ඩුවේත් හැම තත්පරයක්ම ගෙවෙන්නේ මේ අර්බුදයෙන් අපේ රට ගොඩගන්නයි. ගොවියාට ඉතිහාසයේ වැඩිම සහන දුන්න අපිට දැන් ගොවියා විරුද්ධයි. මොන තරම් රටට හොඳක් වුණත් කාබනික පොහොර වැඩපිළිවෙළ ගෙනියන්න මේක වේලාව නොවේ. ඒ නිසා අපි පොහොර සහනාධාරය යළි ලබා දෙන්න තීන්දු කරලා තිබෙනවා..''
අද ජාතිය අමතා ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, ජනතාව විඳින දුක් ගැහැට පිළිබඳ ආණ්ඩුවට හොඳ අවබෝධයක් ඇති බවයි.
''තෙල්, පෝලිම්වල දින ගණන් රස්තියාදු වුණ ජනතාවගේ වෙහෙස අපට තේරෙනවා. ගෑස් ගන්න පෝලිම්වල රස්තියාදු වුණ කාන්තාවන්ගේ වේදනාව අපට තේරුම් ගන්න පුළුවන්. බඩු මිල අහස උසට නැගලා තියෙන තත්ත්වය හමුවේ ජනතාව විඳින දුක් ගැහැට ගැන අපි කාටත් හොඳ අවබෝධයක් තිබෙනවා..''
තවද පාරට බැස විරෝධතා දක්වන සෑම තත්පරයකදීම සිදුවන්නේ, රටට ඩොලර් ගලාඒමට ඇති අවස්ථා අහිමි වීම බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජාතියට අත් වී ඇති විනාශයෙන් රට බේරා ගැනීම සියලු දෙනාගේ වගකීම බවයි. රට වෙනුවෙන් රාජකාරියේ යෙදෙන ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියට හිරිහැර, අපහාස නොකරන ලෙස ඉල්ලා සිටි අග්‍රාමාත්‍යවරයා සිහිපත් කර සිටියේ, බය නැතිව මහ මග ගමන් කරන්නේ සහ විරෝධතා දක්වන්නේ රණවිරුවන් සිය ජීවිත පරිත්‍යාගයෙන් රටක් ඉතිරි කර දුන් නිසා බවයි.
''එදා තරුණයන් භීෂණයෙන් බේරා ගන්න පාද යාත්‍රාවේ යනකොට පයේ පෑගුණ වැලි කැටවලට වඩා වැඩියි මටත් පවුලේ අයටත් මේ වන විට කියලා තියෙන නින්දා අපහාස. ඒවා අපට දරා ගන්න පුළුවන්. එහෙත් රට වෙනුවෙන් රාජකාරියේ යෙදෙන ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සේවයේ යෙදෙන අයට හිරිහැර, අපහාස කරන්න එපා''
එක්ව රට ගොඩ නැගීමට පැමිණෙන ලෙස සෑම පක්ෂයකටම ආරාධනා කළ ද කිසිදු පක්ෂයක් නොපැමිණි බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයේදී වැඩිදුරටත් කියා සිටියේ, දේශපාලනයේදී අහිමි වීම මෙන්ම අතහැරීමත් හොඳට පුරුදු බවයි. උපන් බිමේ ඕනෑම තැනක ජාතික කොඩිය එසවීමට හැකි රටක් සාදා දුන් බව සඳහන් කළ අග්‍රාමාත්‍යරවයා අවධාරණය කර සිටියේ, එදා ඒ අභියෝගවලට මුහුණ දුන්නා සේම ධෛර්ය,පන්නරය තවමත් තිබෙනව බවයි.