ස.ජ.බ. මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන සාකච්ඡා කරන්න සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

by Staff Writer . 10-04-2022 | 7:34 AM

COLOMBO (News 1st) - වත්මන් ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම අද (10) රැස්වීමට නියමිතය.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී ය. සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ, එම විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ සෙසු පක්ෂවල සහ ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම්වල සහය ලබා ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බවය. මේ අතර ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා සහය ලබා දීමට සිය පක්ෂය තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි. ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී , ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ඉදිරිපත් කිරිමට නියමිත දෝෂාභියෝගය කෙටුම්පත් කිරිම මේ වනවිට ආරම්භ කර ඇති බවය. මේ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ 10 කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධින කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද පැවැත්විමට නියමිතව තිබේ. එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, එහිදි වත්මන් ආණ්ඩුවට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහය දෙනවාද? නැද්ද? යන්න පිලිබදව තිරණයක් ගැනිමට නියමිත බවය.