ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි.. - යුරෝපා සංගමය

by Staff writer 08-04-2022 | 3:33 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක බව යුරෝපා සංගමය පවසයි.

එම සංගමය අවධාරණය කරන්නේ , ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් තිරසර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳව බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවයි. යුරෝපා සංගම් දූත මණ්ඩලය ජර්මනිය , ප්‍රංශය , ඉතාලිය , නෙදර්ලන්තය , රුමේනියාව , ඕස්ට්‍රේලියාව , නවසීලන්තය , නෝර්වේ , ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල තානාපති සහ මහකොමසාරිස් කාර්යාල සමග එක්බද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය. එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ , සාමකාමී අයුරින් රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකම් ලෙස සැලකිය හැකි බවයි. එබැවින් සියලු පාර්ශවවලට සාමකාමීව කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටී. හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ධනාත්මක පියවරක් බව යුරෝපා සංගමය පවසයි. ශ්‍රී ලාංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ අවදානය යොමු කරන ලෙස සියලුම පාර්ශවවලින් යුරෝපා සංගමය ඉල්ලා සිටී.