by Staff Writer . 07-04-2022 | 4:33 PM
COLOMBO (News 1st) – ඉකුත් පළමු වෙනිදා හදිසි නීති රෙගුලාසි පැනවීම හා පසුදින ඇඳිරි නීතිය පැනවීම අභියෝගයට ලක් කරමින් මාධ්‍යවේදී රෝල් රේමන්ඩ් මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද සලකා බැලිණ.
ඒ මුර්දු ප්‍රනාන්දු, එල්. ටී. දෙහිදෙණිය සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවෙයි.
පෙත්සම වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා දින හතරක් පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමෙන්, ඇඳිරි නීති රෙගුලාසි පැනවීමෙන් ,සහ සමාජ මාධ්‍ය තහනම් කිරීම අත්තනෝමතික ක්‍රියාවක් බව හා එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.
හදිසි නීති රෙගුලාසි පැනවිය යුත්තේ මහජනතාවගේ සුබ සිද්ධිය සඳහා මිස තමන්ට එරෙහිව ඇති මහජන මතය මැඩලීමට නොවන බව ද ඔහු අධිකරණය හමුවේ පැවසී ය.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එම සියල්ල ව්‍යාර්ථ වූ බවයි.
නීතියේ ප්‍රබල අවියක් මෙලෙස භාවිතා කර අසාර්ථක වීම හොඳ දෙයක් නොවන බව ද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ,ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් ,නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ විදුලි සංදේශ නියාමක කොමිසම වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබිණ.