නි. කථානායකගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

නි. කථානායකගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති ප්‍රතික්ෂේප කරයි

by Staff Writer . 06-04-2022 | 4:29 PM

COLOMBO (News 1st) –  රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉදිරිපත් කළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිව ඉදිරියට රැගෙන යා යුතුව තිබෙන බැවින් නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත්වීමට රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ ලිපිය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිවරයා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. කොටුව ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමේ එකඟතාව මත, ඉදිරියටත් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කරන බව රංජිත් සියඹලාපිටිය මහතා විසින් සඳහන් කරනු ලැබු බව එම නිවේදනයේ සඳහන් ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් මේ අවස්ථාවට එක්ව සිටි බවයි.