අගමැති හැර කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි

අගමැති හැර කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වෙයි

by Staff writer 04-04-2022 | 5:48 AM

COLOMBO (News 1st) –  පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ සුදුසු දේශපාලන ක්‍රියාමාර්ගයක් ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ හට ඉඩ දෙමින් සියලුම කැබිනට් ඇමතිවරු සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දීමට කටයුතු කළේ ය.

ඒ, ඊයේ(03) මධ්‍යම රාත්‍රිය ආසන්න වනතෙක් පැවති විශේෂ කැබිනට් හමුවකින් අනතුරුවයි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජිතයින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඊයේ දිනය තුළ වෙන් වෙන්ව හමු වූ අතර පවත්නා අර්බුදයට විසඳුමක් ලෙස සර්ව පාක්ෂික හෝ බහු පාක්ෂික අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් ඒ සඳහා දැනට සිටින කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවත් අවධාරණය කර තිබුණි. මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වුණේ ඉන් අනතුරුවයි. මේ අතර, පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඊයේ රාත්‍රියේ රැස්විය. ඒ, මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධීපති මෙත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදීය.