by Staff Writer . 02-04-2022 | 9:16 PM
COLOMBO (News 1st) - ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇතැයි සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.
නිවේදනයක් නිකුත්කරමින් ඔහු සඳහන් කළේ, අදාළ සාවද්‍ය පුවතින් දැක්වෙන්නේ පසුගිය වසරේ පැවති මිත්‍ර ශක්ති ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසයේදී ප්‍රකාශයට පත් කළ නිල ඡායාරූප බවය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩව පැවැත්වෙන ද්විපාර්ශ්වික ඒකාබද්ධ යුද අභ්‍යාසයට සහභාගී වීම සදහා මෙම ඉන්දීය හමුදා කණ්ඩායම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි බව ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේය.
ඔහු අවධාරණය කළේ, විවිධ අරමුණු සහිත මෙවැනි සාවද්‍ය තොරතුරු සම්බන්ධයෙන් මහජනයා කලබල නොවිය යුතු බවයි.
ජාතික ආරක්ෂාව තහවුරු කරමින් ඕනෑම තත්ත්වයකට මුහුණදීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට හැකියාව තිබෙන බවද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සිය නිවේදනයේ සදහන් කර තිබේ.
මේ අතර ඉන්දියාව සිය හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට යොදවන බවට වන පදනම් විරහිත මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ද පවසයි.