''ජනතාවගේ දුෂ්කරතා පිළිබඳ රජය ඉතා සංවේදියි''

ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජය ඉතා සංවේදියි- අගමැති

by Sagarika Chathumali 31-03-2022 | 4:29 PM

COLOMBO (News 1st) –  අගමැති කාර්යාලයේ සහ අග්‍රාමාත්‍යවරයා යටතේ ඇති අමාත්‍යාංශවල නිලධාරීන්ට නිවසේ සිට රාජකාරී කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ නිල Facebook පිටුවේ සඳහන් වන්නේ,  පෙර නොවූ විරූ දැඩි අභියෝගයකට රට මුහුණපා ඇති අවස්ථාවේ ඉන්ධන පිරිමසා ගැනීමේ එක පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි. මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජය ඉතා ම සංවේදී වන බවත් එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ. දුෂ්කරතා මධ්‍යයේ වුව ද ජනතාවගේ ඉවසීම සහ සහයෝගය මතින් 30 වසරක ත්‍රස්ත උවදුර සහ කොවිඩ් වසංගතය ඇතුළු බොහෝ අභියෝග ජය ගත් මෑත ඉතිහාසයක් ඇති බව සිහිපත් කරන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ, එලෙසින් ම මෙම අභියෝගය ද ජය ගැනීම සඳහා සියලු භේද පසෙක ලා අත්වැල් බැඳ ගන්නා ලෙසයි.