by Sagarika Chathumali 29-03-2022 | 4:02 PM
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට සෞදි සංවර්ධන අරමුදලේ සහය අඛණ්ඩව ලබා දෙන බව සෞදි තානාපති අබ්දුල්නසර් හුසේන් අල් හාර්ති මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවසා තිබේ.
සේවා කාලය නිම කර දිවයිනෙන් පිටත් ව යන තානාපතිවරයා මේ බව පවසා ඇත්තේ, අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදීයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ධුර කාලය තුළදී හුසේන් අල් හාර්ති මහතා දැක්වූ සහය මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් වූ බවයි.
තව ද පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සහ ශ්‍රී ලංකාවේ ඇති තවත් ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීම සඳහා සෞදි රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිසක් නුදුරේදී ම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද හාර්ති මහතා එහිදී පවසා තිබේ.
ආයෝජන කලාප ආශ්‍රිතව විශේෂ බදු සහන රැසක් පවතින බව ත් ඖෂධ, තාක්ෂණ සහ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත සෘජු ආයෝජන සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින පුළුල් අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී තානාපතිවරයා හමුවේ පෙන්වා දී ඇත.
මේ අතර කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට ඉදි කිරීමට යෝජිත නැව් අලුත්වැඩියා සහ නිෂ්පාදන ආයතනය ආශ්‍රිතව ඇති ආයෝජන අවස්ථා සඳහා ජනාධිපතිවරයා සෞදි රජයට ආරාධනය කර ඇති අතර සෞදි සංවර්ධන අරමුදල යටතේ මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට දක්වන සහයට ද ස්තුතිය පිරිනමා තිබේ.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ සෞදි රාජ්‍යයේ මෙරට නියෝජ්‍ය තානාපති අබ්දුල්ලා ඒ. ආර්කොබි යන මහත්වරුන් මේ අවස්ථාවට එක් ව සිට ඇත.