by Staff Writer . 29-03-2022 | 12:15 PM
COLOMBO (News 1st) – පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැලසුම් කළ සැත්කම් අත්හිටුවීම පිළිබඳ නිව්ස් ෆස්ට් කළ අනාවරණය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතාගේ අවධානය යොමුවී තිබේ.
රෝහලේ පවතින තත්ත්වය පිළිබඳව නිව්ස් ෆස්ට් අද පෙරවරුවේ කෙටි පණිවිඩයක් මගින් හා ටිවිටර් ඔස්සේ වාර්තා කළේ ය.
ඒ ඔස්සේ මේ පිළිබඳ දැනුවත් වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙම ප්‍රවෘත්ති පිළිබඳ දැකීමෙන් තමන් නොසන්සුන්තාවට පත්වූ බවයි.
මේ සම්බන්ධයෙන් ඉන්දියාවට උදව් කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලෙස තමන් කොළඹ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගෙන් ඉල්ලා සිටින බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැලසුම් කළ සියලු සැත්කම් තාවකාලිකව අත්හිටුව ඇත්තේ ඖෂධ සීමා වීම හේතුවෙනි.
කෙසේවෙතත් අත්‍යවශ්‍ය සැත්කම් පමණක් සිදු කරන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
මේ පිළිබද ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයෙන් නිව්ස් ෆස්ට් කළ විමසුමකදී එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, සැපයුම්කරුවන්ගේ ප්‍රමාදයක් හේතුවෙන් සැත්කම් සඳහා භාවිත කරන එක් ඖෂධයක හිඟයක් ඇති බවයි.
එම ඖෂධය කඩිනමින් ගෙන්වා ගැනීමට අදාළ කටයුතු සම්පාදනය කර ඇතැයි ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙතත් වෛද්‍ය සමන් රත්නායක මහතා පෙන්වා දුන්නේ එම ඖෂධයේම අඩු මාත්‍රාවක් පේරාදෙණිය රෝහල ඇතුළු රෝහල් කිහිපයක් සතුව ඇති බවයි.
මේ අතර අත්‍යවශ්‍ය ඖෂධ 248 ක් ආනයනය සඳහා ලැයිස්වක් සකස් කර ඇති අතර ඒ අතරින් මේ දිනවල අත්‍යවශ්‍ය ඖෂධ 16 කට කඩිනමින් ණයවර ලිපි නිකුත් කිරිමේ වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන්නැයි ද දැනුම්දී තිබේ.
බෝ නොවන රෝග , හෘද රෝග ඇතුළු රෝග රැසකට භාවිත කරන ඖෂධ එම ඖෂධ 16 ට ඇතුළත් ය.
මේ අතර පේරාදෙණිය රෝහලේ සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධ ලබා දෙන බවට වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබා දුන් සහතිකය මත සැලසුම් කල සැත්කම් නැවත ආරම්භ කිරිමට පියවර ගන්නා බව පේරාදෙණිය ශික්ෂණ රෝහල සඳහන් කළේ ය.