ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් ගැන පැහැදිලි කිරීමක්

ඉන්දියාව සමග ඇති කර ගත් ගිවිසුම් ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

by Sagarika Chathumali 29-03-2022 | 2:24 PM

COLOMBO (News 1st) –  ඉන්දීය රජය සමග මෑතකදී අත්සන් කරන ලද සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම්වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට බාධාවක් හෝ තර්ජනයක් ඇති බවට පළ වන වාර්තා පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ඩෝනියර් නිරීක්ෂණ යානය මූලිකව සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු, පිරික්සුම් හා ගළවා ගැනීමේ මෙහෙයුම් සහ විවිධ අවස්ථාවන්වලදී අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා යොදා ගැනෙන බවයි. තව ද ශ්‍රී ලංකාව සතුව මෙම පහසුකම සහ තාක්ෂණය නොමැති හෙයින්, පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර සිදු වූ සාර්ථක ද්විපාර්ශ්වික සබඳතාවලින් පසුව, එක් ඩෝනියර් නිරීක්ෂණ යානයක් ගාස්තුවකින් තොරව ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වී ඇති බව ද එහි සඳහන් ය. ඒ අනුව, එම ගුවන් යානය නිෂ්පාදනය සඳහා වෙන් කර ඇති කාල සීමාව තුළ, එවැනිම ගුවන් යානයක් ඉන්දීය රජය විසින් ලබාදෙනු ලබන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් විසින් එහි යානය පියාසර කරනු ලබන බවටත් එමගින් කරුණු පැහැදිලි කර තිබේ. තව ද ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් සහ ගුවන් යානා නඩත්තු ශිල්පීන් මේ පිළිබද අවශ්‍ය විශේෂඥ දැනුම ලබාගන්නා තෙක් ඔවුන් පුහුණු කිරීම සඳහා ඉන්දීය පුහුණු කණ්ඩායමක් ද දිවයිනට පැමිණීමට නියමිත ය. මෙයින් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිවැයක් කපා හැරීමට හැකි වන බවත් සමුද්‍රය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකිවීම මෙන්ම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ට අමතර දැනුමක් ද ලැබෙන බවයි. කොළඹ සමුද්‍රිය ගලවා ගැනීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritinie Resetue Cordination Centre in Colomkhy) සඳහා ඉන්දීය රජය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 6 ක ප්‍රදානයක් සහ එම මධ්‍යස්ථානය පිහිටුවීම් යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇති බව ද එහි සඳහන් වේ. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, විවිධ වූ ජාත්‍යන්තර සම්මුන්ට අනුකූලවීම සඳහා කලාපයේ ක්‍රියාත්මක වන විපතට පත් යාත්‍රා පිරික්සුම් හා ගලවා ගැනීමේ සේවාවන් සඳහා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට සහ ඒවායේ ආරක්ෂාව සහතික කිරීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පිහිටුවීම අවශ්‍ය කරුණක් බවයි. අනෙකුත් පැහැදිලි කිරීම් අතර දැක්වෙන්නේ, ඉහත කී ගිවිසුම් තුන අත්සන් කිරීමට පෙර, ආරක්ෂක අමාත්‍යාංශය නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු එයට අදාළ වන අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් සම්මත ක්‍රියා පටිපාටිය අනුගමනය කර ඇති බවයි. තව ද මෙමගින් යටිතල පහසුකම් දියුණු කිරීම සහ සංවර්ධනය සමග සබැඳි ආර්ථීක සහ ආරක්ෂක වශයෙන් ප්‍රතිලාභ අත්විම හැර ස්වෛරී දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට කිසිදු ආකාරයක අවදානමක් හෝ කර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.