අද පැය 7 කට වැඩි විදුලි කප්පාදුවක්

අද පැය 7 කට වැඩි විදුලි කප්පාදුව සිදු වෙන්නෙ මෙහෙමයි

by Staff writer 29-03-2022 | 8:29 AM
 

COLOMBO (News 1st):  අද පැය 7 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව P සිට W දක්වා ප්‍රදේශවලට පෙරවරු 8.30 සිට සවස 6.30 අතර පැය 5ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. මීට අමතරව එම ප්‍රදේශ වලටම සවස 6 සිට රාත්‍රි 11 දක්වා පැය 02 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිත ය. A සිට L දක්වා ප්‍රදේශවලට පෙරවරු 8 සිට සවස 6.00 දක්වා පැය 5 ක් විදුලිය කප්පාදු කිරිමට නියමිතයි. එමෙන්ම සවස 6 සිට රාත්‍රි 11 දක්වා පැය 02 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදුව සඳහා අවසර ලබා දුන් බව ද මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ ය. මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් ජනනය කරන තාප බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් විදුලි කප්පාදුව කරන කාල සීමාව දීර්ඝ කිරිමට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබිණ. මේ අතර සමනලවැව හා කාසල්රි ජලාශවලින් විදුලි උත්පාදන කටයුතු ලබන සිකුරාදා දිනයෙන් පසුව නවතා දමන බව විදුලි බල මණ්ඩලය පවසයි. ඒ ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ජල ධාරිතාවක් නොමැතිවීම හේතුවෙනි. පවතින වියළි කාලගුණය හමුවේ සමනලවැව ජලාශයේ ජල ධාරිතාව 11.8% දක්වා පහළ ගොස් ඇතැයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩි.සි.ආර් අබේසේකර මහතා ප්‍රකාශ කළේ ය. කාසල්රි ජලාශයේ ජල ධාරිතාව 8.4% කි. මාවුස්සා කැලේ ජලාශයේ ජල ධාරිතාව 27.8% දක්වා පහළ ගොස් ඇති අතර කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව 20.6% ක් දක්වා පහළ ගොස් තිබේ. වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව 30 %ක් වන අතර රන්දෙණිගල ජලාශයේ ජල ධාරිතාව 58%කි. එම ජලාශ උපයෝගි කර ගනිමින් කෘෂිකාර්මික කටයුතු ද සිදුවන බැවින් විදුලි උත්පාදන කටයුතුවලට බාධා මතුව ඇතැයි විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි.

ඒ ඒ කලාප සඳහා විදුලි කප්පාදුව සිදු කෙරෙන වේලාවන් මෙතැනින්....