පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇමෙරිකාවේ ණය සහන

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ණය දීමට සූදානම් බව අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවේ කියයි

by Staff Writer . 28-03-2022 | 4:06 PM

COLOMBO (News 1st): මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ණය පහසුකම් ලබා දීමට කටයුතු කරන බව ඇමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, තානාපතිනිය අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවේදී මේ බව පැවසූ බවයි. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවේ කළ සංචාරයේ දී රජය දැක්වූ සහය මෙහිදී තානාපතිනියගේ ප්‍රසාදයට ලක්ව ඇත. පසුගිය කාලයේ දී මෙරට ආර්ථීකයේ බිඳ වැටීමට හේතු වූ කරුණු පිළිබඳව පැහැදිලි කර ඇති ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහය අපේක්ෂා කරන බව ද පවසා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට රජය ගත් තීරණය පැසසීමට ලක් කර ඇති තානාපතිනිය පෙන්වා දී ඇත්තේ, දිගුකාලීනව එය මෙරටට ඉතා වැදගත් බවයි. කුමන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ ද අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති මාටින් කෙලීසහ දේශපාලන හා ආර්ථික උපදේශක සුසෑන් වෝක් යන මහත්ම මහත්මීන් මෙම හමුවට එක්ව සිට ඇත.