රුසියාවට යුක්‍රේන යුද්ධය ජය ගන්න බැහැ - බයිඩ්න්

රුසියාවට යුක්‍රේන යුද්ධය ජය ගන්න බැහැ - ජෝ බයිඩ්න්

by Staff Writer . 27-03-2022 | 8:35 AM

COLOMBO (News 1st) - රුසියාවට, යුක්‍රේන යුද්ධය ජයගත නොහැකි බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

පෝලන්තයේ දෙදින සංචාරය අවසානයේ අමෙරිකානු ජනාධිපති සඳහන් කළේ, විලැද්මීර් පුටින්ට බලයේ රැඳී සිටිය නොහැකි බවයි. ඔහු උපායමාර්ගික වශයෙන් අසාර්ථක යුද්ධයක් ගෙනයන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. සිය හඬට සවන් දෙන්නැයි අමෙරිකානු ජනාධිපතිවරයා, රුසියානු ජනතාවගෙන් ඉල්ලා සිටියේ, යුක්‍රේන ජනතාව පීඩාවට පත්කිරීම ජාතික ක්‍රියාවක් නොවන බව ද අවධාරණය කරමිනි. රුසියානු ජනතාව, අමෙරිකාවේ හෝ ලෝකයේ සතුරන් නොවන බව ද ජෝ බයිඩන් මෙහිදී ප්‍රකාශ කළේ ය. විලැද්මීර් පුටින් බලයේ සිටින්නේ ද නැද්ද තීරණය කරන්නේ ජෝ බයිඩ්න් නොව සිය පුරවැසියන් බව, ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව කියා සිටියේ ය. මේ අතර සිවිල් ආරක්ෂක ආධාර ලෙස යුක්‍රේනයට අමතර ඩොලර් මිලියන 100 ක් ලබාදෙන බව, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. අමෙරිකානු රාජ්‍ය ලේකම්, ඇන්තනී බ්ලින්කන් කියා සිටියේ, දේශසීමා ආරක්‍ෂාව, සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යයන් ස්ථිරව පවත්වා ගැනීම සහ රජයේ යටිතල පහසුකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් එම ආධාර ලබාදෙන බවයි.