අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන අතිරික්තයක් තබා ගන්න

අත්‍යවශ්‍ය සේවාවල නිරත වාහන වෙනුවෙන් ඉන්ධන අතිරික්තයක් තබා ගන්න - බලශක්ති අමාත්‍යාංශයෙන් ඉන්ධන පිරවුම්හල් වෙත උපදෙස්

by Staff writer 25-03-2022 | 10:29 PM

COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය සේවාවල නිරත වාහන වෙනුවෙන් ඉන්ධන අතිරික්තයක් තබා ගන්නැයි , සියලු ඉන්ධන පිරවුම්හල් වෙත උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ, අදාළ සේවාවල නිරත පිරිස් තම ඉන්ධන අවශ්‍යතා පෙර දැනුම්දීමකින් අනතුරුව සපුරා ගතයුතු බවයි. ඒ සඳහා සිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් සමග සම්බන්ධවෙමින් සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ අතර, තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 20000 ක් ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබේ. අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, සිංගප්පුරුවේ සිට මෙරටට ළඟා වූ නෞකාවකින් එම ඩීසල් තොගය ගොඩබාමින් ඇති බවයි. තවත් ඩීසල් මෙට්‍රික් ටොන් තිස්දහසක් රැගත් නෞකාවක් ලබන සඳුදා මෙරටට ළඟා වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.