by Staff Writer . 20-03-2022 | 2:22 PM
COLOMBO (News 1st) - මිරිහාන, නාවල ඉන්ධන පිරවුම්හල කොල්ලකෑ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් එම අපරාධය සිදුකිරීමට පැමිණි ත්‍රිරෝද රථය, කඩු 04 ක් හා කොල්ලකන ලද මුදල් රුපියල් 10,000 ක් සොයාගත් බවයි.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රැම් 10 යි මිලිග්‍රැම් 300ක් ද සොයාගෙන තිබේ.
24 සහ 37 හැවිරිදි වියේ පසුවන එම සැකකරුවන් මොරගස්මුල්ල සහ නාරාහේන්පිට ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
නාවල ඉන්ධන පිරවුම්හලට පෙරේදා (18) ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් එහි සේවකයින්ට කඩුවලින් පහර දී රුපියල් දෙලක්ෂ පනස් දහසකට අධික මුදලක් කොල්ලකා පලාගොස් තිබුණි.
මේ අතර දිවයිනේ විවිධ ස්ථානවලදී සොරකම් කරන ලද යතුරු පැදි 14 ක් සමග සැකකරුවෙකු කටුනායක, වලානගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ කුරුණෑගල, වැල්ලව, පොතුහැර, නිට්ටඹුව, වැලිවේරිය, වරකාපොළ , ජාඇල, වේයන්ගොඩ සහ පෑලියගොඩ යන ප්‍රදේශ වලදී එම යතුරුපැදි සොරකම් කර ඇති බවය.
සැකකරු 24 හැවිරිදි පොල්පිතිගම පදිංචිකරුවෙකි.
මෙම සැකකරුවන් නුගේගොඩ සහ මිනුවන්ගොඩ අධිකරණවලට අද (20) ඉදිරිපත් කෙරෙනු ඇති.