by Staff Writer . 20-03-2022 | 2:25 PM
COLOMBO (News 1st) - ඉන්දියානු ආධාර යටතේ මෙරට තුළ ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දීමට අදාළව ගිවිසුම හෙට (21) දිනයේ කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බව තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
එහි ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය තුළදී එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව ඇති බවය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 8 ක ආධාරයක් ලබා දීමට ඉන්දියානු රජය එකඟතාවය පළ කර ඇතැයි ලේකම්වරයා සඳහන් කළේ ය.
අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.
මෙරට පුද්ගලයින්ගේ ජෛවමිතික දත්ත මත පුද්ගල අනන්‍යතාවය තහවුරු කිරීම මෙහි අරමුණයි.
මේ වසරේ නොවැම්බර් මාසයේ සිට මෙරට පුරවැසියන්ට ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ද තාක්ෂණික අමාත්‍යාංශ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේ ය.