ශානිගේ පෙත්සමෙන් විනිසුරු කෝදාගොඩ ඉවත්වෙයි

ශානිගේ පෙත්සමෙන් විනිසුරු කෝදාගොඩ ඉවත්වෙයි

by Staff Writer . 10-03-2022 | 11:39 AM

COLOMBO (News 1st) – පාස්කූ ඉරුදින එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන්, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති නඩුව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ගොනු කළ පෙත්සම සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අද ඉවත් විය.

මෙම පෙත්සම කැඳවනු ලැබුවේ එස් තුරෙයිරාජා , යසන්ත කෝදාගොඩ , මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේයි. පෙත්සම ලබන අප්‍රේල් 07 වැනිදා සලකා බැලීම සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ය. සිද්ධියට පාදක වූ කරුණු සම්බන්ධයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී සෙනවිරත්න මහතා ගොනු කළ පෙත්සම ලබන අප්‍රේල් 07 වැනිදා සලකා බැලීමට නියමිතයි. එබැවින් එදිනට මෙම පෙත්සම් ද සලකා බලන ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. කරුණු සලකා බැලූ අධිකරණය තීරණය කළේ, පෙත්සම අප්‍රේල් මස 07 වැනිදා සලකා බැලීමටයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වූ මොහොමඩ් සහරාන් පිළිබඳ නිසි පරිදි පරීක්ෂණ නොකිරීම ඇතුළු චෝදනා යටතේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමෙන් හෝ රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා මෙම පෙත්සම් ගොනු කර තිබේ.