උඩ ගිය ඩොලරය

ඉතිහාසයේ වැඩිම අගය සටහන් කරමින් ඩොලරය රුපියල් 260 දක්වා ඉහළ යයි

by Staff Writer . 10-03-2022 | 9:57 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහ බැංකුව පෙරේදා විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට ඉඩහරිනු ලැබුවේ වසරකට ආසන්න කාලයක් විනිමය අනුපාතය රුපියල් 202 ක අගයකින් ස්ථාවරව පාලනය කිරීමෙන් අනතුරුවයි.

විනිමය අනුපාතය ලිහිල් කිරීමෙන් පසුව රාජ්‍ය බැංකුවල ඩොලර් එකක විකුණුම් මිල ඊයේ (09) රුපියල් 230 ක් දක්වා ඉහළ ගියේ ය. නමුත් අද (10) ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ, රුපියල් 260 ක් ලෙසය. මහ බැංකුව විනිමය අනුපාතය කෘතිම අගයක ස්ථාවරව පවත්වා ගනිද්දී, මෙරටට ලැබෙන ඩොලර් ප්‍රමාණයද විශාල වශයෙන් පහළ ගි‌යේ ය. ඊට පිළියමක් ලෙස රජය විදෙස්ගත ශ්‍රමිකයින්ට හා අපනයන අදායම්වලට අමතර දිරි දීමනා ලබාදීමට කටයුතු කළත් අපේක්ෂා කළ ඩොලර් රට තුළට ගලා ආවේ නැත. මේ අනුව විනිමය අනුපාත නම්‍යශීලීව තීරණයවීමට ඉඩ හරින බව මහ බැංකුව නිවේදනයකල අතර, දැන් යළිත් විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවන ඩොලර් සම්බන්ධයෙන් පරස්පර තත්ත්වයක් උද්ගත වී තිබේ. පෙරේදා (08) විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට ඉඩ හැරීමට පෙර රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළේ, විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ඩොලරයකට ගෙවන අමතර දීමනාව රුපියල් 38 ක් දක්වා වැඩි කළ යුතු බව ය. නමුත් මහ බැංකු අධිපතිවරයා බලපත්‍රලාභී බැංකුවලට යැවූ ලිපියකින් දන්වා තිබුනේ මේදක්වා දුන් රුපියල් 10 ක දිරි දීමනාවද අත්හිටුවා ඇති බවය. ඒ අතරවාරයේ මුදල් අමාත්‍යාංශය ඊයේ (09) රාත්‍රියේ නිවේදනය කළේ , විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන ඩොලරයකට රුපියල් 20 ක දිරි දීමනාවක් ලබා දෙන බව ය.