විදේශ කටයුතු අමාත්‍යංශ කොන්සියුලර් අංශයේ නොසන්සුන් තත්ත්වයක්

by Staff Writer . 07-03-2022 | 10:31 AM

COLOMBO (News 1st) – සෙලින්කෝ මන්දිරයේ පවත්වාගෙන යන විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.

ඒ, එහි විදුලිය විසන්ධි කිරීම හේතුවෙනි. මේ හේතුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දැඩි අපහසුතාවට පත්ව සිටී. මේ අතර ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් කමාන්ඩර් චමීර රණවිර මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු කියා සිටියේ එම තත්ත්වය උද්ගතව ඇත්තේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ගැටලුවක් නිසා නොවන බවයි. කොන්සියුලර් අංශය පවත්වාගෙන යන සෙලින්කෝ මන්දිරයේ අයිතිය පාර්ශ්ව කිහිපයක් සතුවන බවත් එහි පාර්ශ්ව දෙකක් අතර පවතින ගැටලුවක් හේතුවෙන් එක් පාර්ශ්වයක් විසින් කොන්සියුලර් අංශයේ විදුලිය විසන්ධි කර ඇතැයි කමාන්ඩර් රණවීර මහතා සඳහන් කළේ ය. පවතින තත්ත්වය හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්වන නිසා පොලිසිය කැඳවා ගැටලුව පිළිබඳ සාකච්ඡා කර තිබේ. ඒ අනුව පැයක් ඇතුළත විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා අදාළ පාර්ශ්ව කටයුතු කරනු ඇතැයි, කමාන්ඩර් රණවීර මහතා වැඩිදුරටත් පැවසී ය.