by Staff Writer . 07-03-2022 | 1:15 PM
COLOMBO (News 1st) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණි දින මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණවල නිරත වූ බව කියන සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනකුට එරෙහි නඩුව ලබන මැයි මස 30 වැනි දා විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද නියෝග කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ ,ජයන්ත සමරවීර , මොහොමඩ් මුසම්මිල් සහ වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක ,රොජර් සෙනෙවිරත්න යන අය අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සිද්ධිය අද කැඳවූ අවස්ථාවේ කුරුඳුවත්ත පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ නඩුව විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසටයි.
2016 වසරේ පෙබරවාරි මස 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිම් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මහා මාර්ග අවහිර කරමින් ජනතාවට පීඩාවක් ඇති වන අයුරින් උද්ඝෝෂණයක නිරත වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.