පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමට මැදිහත් වන්න... කාදිනල් හිමි මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලයි

by Staff Writer . 07-03-2022 | 3:11 PM

COLOMBO (News 1st) –  එක්සත් ජාතීන්ගේ 49 වන මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව සිදුකරන සාකච්ඡාවේ තවත් අදියරක් අද පැවැත්වේ.

එහිදි අතිඋතූම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් මීට සුළු මොහොතකට පෙර එම සමුළුව අමතමින් ඉල්ලා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ විදිතයින් සඳහා සාධාරණය ඉටු කරලීමට මැදිහත් වන ලෙසයි.
''පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ දී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් දරු දැරියන් අසූ දෙදෙනකු (82) සහ රටවල් 14කට අයත් විදේශිකයින් හතළිස් හත් (47) දෙනකු ඇතුළුව මිනිසුන් 269 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර, පන්සිය (500) දෙනකුට වඩා වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම සමූල ඝාතනය පිළිබඳව මුලින්ම ඇති වූ හැගීම වූයේ එය හුදෙක් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් බව ය. කෙසේ වුවද, ඉන් අනතුරුව සිදු වූ විමර්ශනවලින් පෙනී ගියේ මෙම සමූල ඝාතනය, මහා දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බවයි. අපද සත්‍යය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලා සිටිය ද, වින්දිතයින් හට යුක්තිය ඉටු කිරීමට, ශ්‍රී ලංකාවේ රජය අසමත් වී තිබේ. ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කිරීම සහ වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නගන්නන්ට හිරිහැර කිරීමේ සහ බිය ගැන්වීමේ උත්සාහයන් දක්නට ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, මේ බිහිසුණු අපරාධය සිදු වී වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත්, පාස්කු ඉරු දින ඇත්තටම සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳව අපි තවමින් අඳුරේ සිටිමු. මෙය අගතියට පත් වින්දිතයින්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝණය වූ අවස්ථාවක් බැවින්, අප එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලුම සාමාජික රටවල්වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම කවුන්සිලය මගින් පසුගිය වසරේ ආරම්භ කරන ලද සාක්ෂි රැස් කිරීම ඉදිරියටම කරගෙන යාමටත් පාස්කු ඉරිදා සමූල ඝාතනය පසුපස ඇති සසත්‍ය සොයා ගැනීමට අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සහතික කිරීම සඳහාත් ක්‍රමවේදයක් සැලසුම් කිරීමටත් සහයෝගය දක්වන ලෙසයි''
මේ අතර සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාද සමුළුව අමතමින් සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පිළිබඳව අදහස් පළ කළේ ය. හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයාට නිදහස ලබාදීම සඳහා කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය. මේ අතර සමුළුව අමතමින් ඔහු අවධාරණය කළේ, අද මෙරට ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයට ද මැර ප්‍රහාරයක් එල්ල වුණු බවයි.