පරෙවි දූපතට නව පාලමක් ඉදිකරන්නැයි උපදෙස්..

පරෙවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන්නැයි ජනපතිගෙන් උපදෙස්..

by Staff writer 05-03-2022 | 7:15 AM

COLOMBO (News 1st) – මාතර වෙරළ උද්‍යානය යාබදව පිහිටා ඇති රන් දූපතට(පරෙවි දූපත) පිවිසීම සඳහා නව පාලමක් ඉදිකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, රන් දූපතට පිවිසීමට ඉදිකර තිබූ පාලම දීර්ඝ කාලයක සිට අබලන්ව පැවති අතර ඊයේ(04) පෙරවරුවේ එය කඩා වැටීමෙන් දූපතට පිවිසීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවට පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් විසින් ජනාධිපතිතුමාට දැනුම් දී ඇති බවය. සියම් මහා නිකායෙහි රෝහණ පාර්ශ්වයේ උපෝසථාගාරය පිහිටා ඇති මෙම දූපත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. ඉදිකිරීම් පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාවේ නිලධාරීන් අද(05) පෙරවරුවේ එම ස්ථානයට යාමට නියමිත අතර, පාලමේ ඉදිකිරීම් මාස 06ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ ය.