දේවස්ථානයේ අත්බෝම්බය: සැකකරුවන් යළි රිමාන්ඩ්

දේවස්ථානයේ අත්බෝම්බය: සැකකරුවන් යළි රිමාන්ඩ්

by Staff Writer . 28-02-2022 | 1:58 PM

COLOMBO (News 1st) –  බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී ජීවඅත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ විශ්‍රාමික වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ලබන 14 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ එම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය හමුවේ කැඳවු අවස්ථාවේදීයි. සැකකරුවන් නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළා ය. සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මින් ඉදිරියට කටයුතු නොකරන බව නීතිපතිවරයා කියා සිටියේ ය. නීතිපතිවරයා පැවසුවේ පීඩාකාරී ආයුධ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඉදිරි විමර්ශන කරන බවයි. එබැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ හංස අබේරත්න මහතා අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. සැකකරුවන් තවත් බෝම්බ තැබීමේ සිද්ධි දෙකකට සම්බන්ධ බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වන බැවින් ඒ හරහා වැඩිදුරටත් විමර්ශන කරන බව රජයේ නීතීඥවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නා. සැකකාර වෛද්‍ය ෂර්ලි හේරත් පීඩාකාරී ආයුද පනත යටතට ගැනෙන වැරදි සිදුකළ බවට ඔහුට එරෙහිව කිසිදු සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ මහතා පවසා සිටියා. තවත් බෝම්බ තැබීමේ සිද්ධීන් දෙකකට මෙම සැකකරුවන් සම්බන්ධ බවට නීතිපතිවරයා නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසා සිටි අතර ඔවුන් ඉල්ලා සිටියේ සැකකරුවන් මෙම සිද්ධියෙන් නිදහස් කරන ලෙසටයි. මෙහිදී මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කර සිටියේ සැකකරුවන් තිදෙනාට විරුද්ධ ව බෝම්බ තැබීම , බෝම්බ තබාගැනීම හා බෝම්බ ස්ථානගත කිරීම සම්බන්ධයෙන් තමා ඉදිරිපිට දී පිළිගත හැකි පැහැදිලි සාක්ෂි අනාවරණය වී ඇති බවයි. යම් බෝම්බයක් සම්බන්ධයෙන් පොලිසියට කරුණු අනාවරණය වූ විට ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව වෙනුවෙන් විමර්ශන සිදු කිරීමේ අයිතිය පොලිසිය සතු බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා ය. ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙම විමර්ශනයන්හිදී විත්තිය පවසන ආකාරයට සැකකරුවන්ට අසාධාරණයක් සිදු වී නොමැති බවයි. මෙම සිද්ධියට අදාළව විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාමට සාක්ෂි තිබේ දැයි අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටත් දැනට අනාවරණය වී ඇති කරුණු මත විධිමත්ව පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු කළා ය. විශ්‍රාමික වෛද්‍යවරයා අද අධිකරණය වෙත ඉදිරිපත් කර නොතිබුණු අතර ඔහුගේ නීතිඥවරයාගේ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීමට සුදුසු පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරිවරයා දැනුම් දුන්නේ ය. ලියනගේ දයාසේන හා රුවන් සිරි හේමචන්ද්‍ර යන සැකකරුවන් දෙදෙනා පමණක් බන්ධනාගාරය මගින් අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.